පින්කෙත

මම මහණවෙන්න කැමති වුණේම නැහැ. (ප්‍රකට යතිවර අප්‍රකට කතා – 1)

මම මහණවෙන්න කැමති වුණේම නැහැ. වත්මන් මල්වතු මහානාහිමිගේ ඉල්ලීමටයි මහණවුණේ.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමි

අනුනායක හාමුදුරුවන් පැවිදිවෙන්න යොමු වුණේ කොහොමද?-

දවසක් අපේ නැදෑ වෙන අයියා කෙනෙක් අපේ ගෙදර ඇවිත් කිව්වා මහනුවර පන්සලක් තියෙනවා ,පන්සල ඉස්සරහ ලස්සන වැවක් තියෙනවා ,පාරේ වාහන එහෙම යනවා,ඉතින් ඒ පන්සලේ නැවතිලා ඉගෙන ගන්න පුළුවන් කියලා .මම ඒකට එකපයින් කැමැති වුණා.අම්ම අප්පචිචිගේ විරෝධයක් තිබුණෙත් නැහැ. හැබැයි මම ඊට කලින් කවදාවත් නුවර ඇවිත් නැහැ.


කොහොම හරි 1950 දෙසැම්බර් 23 දා තමයි මම මල්වතු විහාරයේ මාත්ගමුවේ පන්සලට ආවේ.ඒ කාලේ නගරයේ දියුණුවක් නැහැ.තට්ටු ගොඩනැගිල්ලකට තිබුණේ ක්වින්ස් හෝටලය විතරයි.වැව වටේ කුඩ ඉහළ ගත්ත කැමරාකාරයො පිරිලා හිටියා ෆොටෝ ගහල දෙන්න.

එතකොට පන්සලට ආවම පාළුවක් දැනුනාද?

නැ.මම පන්සලේ ඇබිත්තකමේ ඉන්න කොට මගේ හොඳම යාලුවා තමයි තිබ්බටුවාව පන්සලේ පොඩි හාමුදුරුවෝ .ඒ කියන්නේ අද මල්වතු පාර්ශවයේ මහනායක ධුරය දරණ තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හාමුදුරුවෝ .මම හැම දේම කතාකරන්නේ පොඩි හාමුදුරුවෝ එක්කයි.ඒ කාලෙත් උන් වහන්සේ පෙනුමයි. හරිම කරුණාවන්තයි. සිල්වන්තයි.

ඔබ වහන්සේ ගිහි කාලයේ ගුරුවරුන්ගෙන් දඬුවම් ලබලා තියෙනවාද?

දවසක් ස්කොලේ දි ටීචර් මට හුණු කෑල්ල දීලා කිව්වා කළු ලෑල්ලේ “අ” ලියන්න කියලා.මම ලිව්වේ නැහැ.ටීචර් ඇවිත් මගේ ඔළුවට කෝටුවකින් ගැහැව්වා.ඒ පාරට මගේ ඇස් දෙකෙන් කදුළු පැන්නා.ගුටි කෑවට පස්සේ මම හොඳට අකුරු ලිව්වා.

ඔබ වහන්සේ පැවැදි වුණේ?

මට එතකොට අවුරුදු 24යි.පන්සලට ආවේ ඉගෙන ගන්න මිසක් පැවිදි වෙන්න නොවේ. මගේ ගුරු හාමුදුරුවෝ මාත්ගමුවේ ධම්මාලෝක හාමුදුරුවෝ 1965දි අපවත් වුනාට පස්සේ උන් වහන්සේගේ ශිෂ්‍ය ඉලුක්වත්තේ ධම්මානන්ද හාමුදුරුවෝයි, වතුරකුඹුරේ ඤාණවිමල හාමුදුරුවෝයි මට බලපෑම් කලා පැවිදි වෙන්න කියලා.


මම මහණ වෙන්න කැමැති වුනේම නැහැ. මම බැහැම කිව්වා.පස්සේ මම මේ ගැන මගේ මිතුරු තිබ්බටුවාව පන්සලේ පොඩි හාමුදුරුවන්ට (වත්මන් මහනාහිමි) කිව්වා. උන් වහන්සේ කිව්වා ඔයා මහණ වෙන්න. පනස්ලේ ගැටලුවක් ආවොත් අපේ පන්සලේ හරි ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මම පැවැදි වෙන්න කැමැත්ත දුන්නේ. මම 1965 දෙසැම්බර් 31 උදේ 10.00ට පැවිදි වුණා. මම එදාම හවස 2.00ට උපසම්පදා වුණා.

පැවිදි වුණාට පස්සේ ඔබ වහන්සේට යළිත් ගිහි ගෙදරට යන්න හිතුනේ නැද්ද?

අපොයි නැහැ.හැබැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කොට මගේ යාළුවෝනම් මට හරියට කිව්වා සිවුරු හැරලා එන්න කියලා. ඒත් මම ඒකට කැමැති වුනේ නැහැ.

ඔබ වහන්සේගේ ඉගෙනිමට උදව් කරපු අය ඉන්නවාද?

මම විශ්ව විද්‍යාලයේ ඉඳලා නුවර පන්සලට ආවම දානේ උයාගන්නවත් වෙලාවක් නැහැ. පාඩම් .ඉතින් ඉස්සරහ පන්සලේ පොඩි හාමුදුරුවෝ (වත්මන් මල්වතු මහනාහිමි) මගේ පන්සලට ඇවිත් යං යං දානේ වළදමු කියලා මාව එක්ක යනවා. කොහොම හරි හොඳට ඉගෙන ගන්න කියලා පොඩි හාමුදුරුවෝ මට නිතරම කියනවා.

නිවාඩු දවස්වල ඒ කාලේ ඔබ වහන්සේ මොනවද කළේ?

පොඩි හාමුදුරුවෝ (වත්මන් මහනාහිමි) ඒ කාලේ හරි කැමතියි වන්දනා ගමන් යන්න. ඉතින් මමයි පොඩි හාමුදුරුවෝයි තවත්කීප නමකුයි එකතුවෙලා කාර් එකක් කුලියට අරන් රටේ නොයෙක් දිහා යනවා.අනුරාධපුර පොළොන්නරුව වගේ ඈත පළාත්වල ගිහින් එදාම නුවර එනවා. කාර් කුලිය රුපියල් 60ක් 70ක් වගෙයි.සමහර දවස්වල අපි ළඟ සල්ලි නැතිවුණාම පොඩි හාමුදුරුවෝ (වත්මන් මල්වතු මහනාහිමි ) තමයි වියදම් කරන්නේ. ඉතින් අතරමගදි වාහනය නවත්වලා අපි උයාගෙන වළදලා වන්දනාවේ යනවා.මමයි පොඩි හාමුදුරුවෝයි ශ්‍රි පාදේ ගියා.රටපුරාම අපි දෙන්න ගිහින් තියෙනවා.

බෝගම්බර හිරි ගෙදරටත් ඔබ වහන්සේ බණට වඩිනවා නේද?

ඔව්. පෝය දවස්වල බණට වැඩියා. එල්ලුම්ගහට නියමිත වුනු අවට බණ කිව්වා. ඒ අයට බණකියන්න දෙන්නේ. විනාඩි 15යි. ඉතින් ඒ අය බණ කියන කොට අඬනවා.

ඔබ වහන්සේට අමතක නොවන සිද්ධියක් තිබෙනවාද?

මම චිනයේ ගිය වෙලාවක ලොකු අනතුරක් වෙන්න ගියා.එහේ හරියට පාපැදිකාරයෝ ඉන්නවා.මම පාර පැන්නා . වේගයෙන් ආපු පාපැදියක්.මගේ ඇඟේ ගැවි නොගැවි බ්‍රේක්
ගැහැව්වා මහ හයියෙන්. එදා මම බේරුණේ නූලෙන්…


මා විසින් ලියු මරදාන සාහිත පොත් පියස විසින් ප්‍රකාශිත “ගුරු පාරෙන් බෝ මළුවට” කෘතියට මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ජාවේ කොටසකි මේ.


අප්‍රේල් 16 වෙනි දිනට යෙදෙන අනුනාහිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් උන් වහන්සේට උපහාරයක් පිණිස මාගේ එම කෘතියෙන් මෙම කොටස උපුටා ගතිමි.

-ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

වාහනයේ හිරවෙලා ඉන්නකොට මට හිතුනේ එදා අපවත්වෙයි කියලා..

Helarata

කථිකාචාර්යකමෙන් මාව කපලා දැම්මේ මගේ වාසනාවකට ….

Helarata

Collecting of ashes and bones…

Helarata

Leave a Comment

Translate »