පින්කෙත

මට හත් අට වතාවක් සිවුරු හැරයන්න හිතුනා – ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

වේඬරුවෙි ශ්‍රි උපාලි අස්ගිරි අනුනාහිමි

අනුනායක හාමුදුරුවන්ගේ ළමා කාලය විස්තර කොහොමද?

අපේ ගම මැදදුම්බර වේඬරුව ගම හරිම ලස්සන ගමක්.අපේ ගම කෘෂිකාර්මික ගමක්.අපේ අප්පච්චිලා කළෙත් ගොවිතැන්.අපේ පොඩි කාලේ මම අප්පච්චි එක්ක හේනේ පැල් රකින්න යනවා.වල් අලි ,වල් ඌරෝ, මුවෝ ,ගෝන්නු, වගේ සත්තුන්ගෙන් වගාව බේරගන්න අප්පච්චි හේනේ පැලට වෙලා පැල් කවි කියනවා.ඉතින් මමත් අප්පච්චි එක්ක පැල් කවි කිව්වා.ගොයම් කපන කාලේට අම්මා එක්ක කුඹුරේ දි නෙළුම් කවි කිව්වා.

අපේ ගම මැදින් ඔයවල් දෙකක් ගලාගෙන යනවා.මම ස්කෝලේ ගිහින් ගෙදර යන්නේ නැතිව යාළුවෝ එක්ක යන්නේ ඔයට.රෑ බෝ වෙනවා තෙරෙන්නේ නැ.අන්තිමට අම්මා මාව හොයාගෙන ඔයට ආවට පස්සේ තමයි ගෙදර මතක් වෙන්නේ.ගම පුරාම පලතුරු පිරිලා.අපි යාළුවෝ ගස් නැගල ඒ පලතුරු කඩාගෙන කනවා.

අනුනායක හාමුදුරුවෝ පැවිදි දිවියට කොහොමද යොමුවුණේ ?

අපේ ගම වටේම කඳු.කන්ද පාමුල ගෙවල්.ගම මැද වෙල් යාය.පන්සලත් ඒ කිට්ටුව.පන්සලේ නම වේඬරුව කිරි විහාරය.මේ පන්සලේ වැඩ හිටිය ලොකු හාමුදුරුවෝ මගේම වයසේ මගේ ඤාති සහෝදරයෙක් පැවිදි කළා.ඉතින් ඒ පොඩි හාමුදුරුවෝ පාඩම් කරන ආකාරය ,උන් වහන්සේගේ ඇවතුම් පැවතුම් දැකලා පැවිදි වෙන්න ඔිනැ කියලා මට ආස හිතුනා.එ⁣හෙම නැතිව සසර කලකිරිලා නොවෙයි මම මහණ වුනේ.එදා ඒ පොඩි හාමුදුරුවෝ තමයි අද අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ .ඇලිකේවල සෝනුත්තර හාමුදුරුවෝ .

අම්මා අප්පච්චිට මේ ගැන කිව්වද?

ඔව් අම්මගේ නම් කැමැත්තක් තිබුණේම නැ.කොහොම හරි ගමේ සියළු දෙනාගේ ප්‍රශ්න විසදන තැන තමයි අපේ පන්සල.ඉතින් මගේ ප්‍රශ්නයත් අප්පච්චි පන්සලේ ලොකු හාමුදුරුවන්ට කිව්වා.එතකොට මගේ වයස අවුරුදු 13යි.

ඊට පස්සේ?

ලොකු හාමුදුරුවෝ මගේ කෙන්දරය ගේන්න කියලා බැලුවා.මේකාට මහණ යෝග නැහැ.මහණ වුණත් අවුරුදු 8-9ක් යනකොට සිවුරු දාලා ගෙදර එනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා .ඒත් මගේ උත්සහය අත්හැරියේ නැ.මම කිව්වා කමක් නැහැ අවුරුදු 9කට හරි මහණ වෙලා ඉන්නම් කියලා.අන්න ඒ ගමන තමයි ගෙදරින් කැමැති වුණේ.මම මහණ වුණේ අවුරුදු 9කින් ගෙදර යන්න බලාගෙන.

අනුනායක හාමුදුරුවන්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නේද?

ඔව්.සෞන්දර්යට ඇති ලැදියාවත්, ගමේ සුන්දර පසුබිමත් ,අප්පච්චිලාගෙන් ලැබුණු ආභාෂයත් නිසාම මම චිත්‍ර අඳින්න හුරුවුණා.කාගේවත් ගුරු හරුකම් නැතිව චිත්‍ර ඇන්දා.අදත් මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්.ඒ වගේම කවි ලිවිමටත් මට පුළුවන්.අදත් මම විවේකිව ඉන්න වෙලාවට කවි ලියනවා.


මගේ අප්පච්චිට හාමුදුරු නමකට වගේ හොඳට පිරිත් කියන්න පුළුවන්.අප්පච්චි අන්තිම කාලේ අසනිපෙන් ඉන්න කොට අපි පිරිත් කියන්න ගියාම මම ඔයිට වඩා හොඳට පිරිත් කියන්නම් කියලා අප්පච්චිම පිරිත් කිව්වා.අපි අහන් හිටියා.

ඔබ වහන්සේ පැවිදි වෙන්න අස්ගිරි ⁣ගෙඩිගේ විහාරෙට සම්බන්ධ වුණේ කොාහාමද?

ඉතින් කේදරයට අනුව අවුරුදු 8-9කට පැවිදි වෙන්න මම කැමැතියි කිව්වාම අපේ අප්පච්චියි පන්සලේ ලොකු හාමුදුරුවෝයි මාව අස්ගිරි ගෙඩිගේ විහාරයට කැඳවාගෙන ඇවිත් නායක හාමුදුරුවන්ට බාර දුන්නා.මගේ කැමැත්තට පැවිද්දට කැමැති වුනාට පන්සලට ආපු පළවෙනි දවසේම මට ආපහු ගෙදර දුවන්න හිතුනා.අප්පච්චි මාව පන්සලට බාරදිලා ගියාට පස්සේ නායක හාමුදුරුවෝ එදා රාත්‍රියෙහි මට පැදුරක් දුන්නා නිදා ගනින් කියලා.මට එ් වෙලාවේ හිතට මහ දුකක් පාලුවක් ඇතිවුණා.


අම්මා අප්පච්චි අක්කලා නංගිලා එක්ක හිටපු මට පන්සලේ මහ පාලුවක් දැනුනා.ඒ නිසා මහණ කමෙන් වැඩක් නැහැ පහුවදාම අප්පච්චි ආවාම ආපහු ගෙදර යනවා කියලා මම හිතා ගත්තා.පහුවදා පාර දිහා බලාගෙන හිටියත් අප්පච්චි ආවේ නැහැ.මෙහෙම ඉන්නකොට නායක හාමුදුරුවෝ මට නොයෙක් උපදෙස් දුන්නා.මේ ළමයාට හොද අනාගතයක් තියෙනවා මෙහේ ඉන්න කියලා කිව්වා.

අවුරුදු 9කින් සිවුරු හැරයැමේ අදහසක් ආවාද?

නැහැ. එහෙම විශේෂයක් තිබුණේ නැ.ඒත් ශාසනික ජිවිතයේ විවි ධ ගැටලු මතුවෙනකොට හා නිට්ටඹුව ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ නම් මට කිහිප වරක් සිවුරු හැර යන්න හිතුනා.ඒත් මගේ අම්මා අප්පච්චිට ,ගමට ,ගමේ යාළුවන්ට කොහොමද මුහුණ දෙන්නේ කියල හිතුනුවිට ඒ අදහස යට යනවා.

අනුනායක හාමුදුරුවන්ට ජිවිතයේ අමතක නොවන සුවිශේෂි යමක් තිබෙනවාද?

මම දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවක බිහිසුණු අත්දැකිමක් ලැබුවා.දේවදත්ත ගල් පෙරලුව ගිජ්ජකූඨ පර්වතයට යන්න පහසු කෙබල් බකට් එකකට නැගලා ඉසිගිලි කන්ද හරහා.පහළින් තියෙන්නේ විශාල වනාන්තරයක් .මම මේ බකට් එකට නගින්න හදනකොට වනාන්තරයෙන් දුමක් නගිනවා වගේ දැක්කා.ඒක සාමාන්‍ය ⁣දෙයක් කියලා එතැන සිටි අය කිව්වා.දැන් බකට් එකේ ටික දුරක් යද්දි එකපාරටම පහළින් ගින්දරක් ඇවිත් මාව වෙලාගත්තා.මම කකුල් දෙක ඉහළට ඔසවා ගත්තා.මගේ සෙරෙප්පු දෙක පාතාලයට වැටුණා.එදා මගේ ජිවිතය බේරුණේ අනුනවයෙන්.පෙර පිනකින් හා මේ ආත්මයේ කළ පින් නිසා එදා ජිවිතය බේරුණා.එදා කලබල වෙලා මාව බකට් එකෙන් වැටුණානම් ඒ වනාන්තරයෙන් මාව හොයා ගන්න ලැබෙන්නේ නැහැ කොහොමත්.

(මා විසින් ලියු මරදාන සාහිත පොත් පියස විසින් ප්‍රකාශිත “ගුරු පාරෙන් බෝ මළුවට ” කෘතියෙන් උපුටාගත් කොටසකි මේ )

  • ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

නාගාසනයේ වැජඹුණු වානරයන්ගේ රහත් කෝලම – මහාචාර්ය කපිල අභයවංශ

Helarata

මම පාඩම්කළේ විහාරයේ බාගෙට දැල්වුණු ඉටිපන්දම් කොට පත්තුකරගෙන -ප්‍රකට යතිවර අප්‍රකට කතා – 8

Helarata

ඇසළ පෝදා සංඝරාජ හිමි සිහිකරන්න…

Helarata

Leave a Comment

Translate »