පින්කෙත

මියගියා කියලා කුඩා කාලේ මාව වළදාන්නත් සුදානම් කරලා – ප්‍රකට යතිවර අප්‍රකට කතා 3 –

මියගියා කියලා කුඩා කාලේ මාව වළදාන්නත් සුදානම් කරලා .

මම කුඩා කාලේ එල්ලේ ගහන්න දක්ෂයි.

අග්ගමහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ උත්තරිතර මහානායක හිමි

මහානායක හාමුදුරුවන් ගේ කුඩා අවදිය ගැන විස්තරයක් කළොත් ?

කුඩා කාලේ ගැන කතාකළොත් මහ භයානක කතාවක් තියෙනවා කියන්න.

ඒ මොකක්ද මහනායක හාමුදුරුවනේ ?

මම පුංචිම කාලේ වලිප්පුව හැදිලා හොඳටම අමාරුවෙලා තියෙනවා.මම මේ කියන්නේ නමසිය තිස්ගණන්වල.ඒ කාලේ අසනිප වුනාම රොහල්වලට යන්නේ නැහැනේ. රත්නම් කියලා දොස්තර මහත්තයෙක් ගමේ ඉඳලා තියෙනවා.ඒ මහත්තයත් මාව පරික්ෂා කරලා කියලා තියෙනවා ජීවත් කරවන්න බැහැ කියලා.දැන් ඉතින් හිත හදාගෙන ඉදිරි කටයුතු වලට සුදානම් වෙන්න කියලා දොස්තර මහත්තයා කියලා අම්මලාට.


කිසිම හුස්කමක් ගන්නේ නැති මම ගැන අම්මලත් බලපොරොත්තු අත්හැරලා හවස් වෙනකොට මගේ අවසන් කටයුතු කරන්නත් කතාවෙලා.ඉතින් අම්මා අඬ අඬා මාව කරත්තේ තියාගෙන ගෙදර අරන් එනකොට මඟදි හමුවුනු නැන්දා කෙනෙක් (ආනමරියා නැන්දා) මාව බලලා මං ගැන දුක හිතිලා කියලා තියෙනවා කොටුගොඩ පල්ලිය ලග අලුතෙන් බෙහෙත් සාප්පුවක් දාගෙන ඉන්න තරුණ වෙද මහත්තයාට දරුවා පෙන්වමු කියලා. මගේ අවසන් කටයුතු ගැනත් කතාකරගෙන හිටිය නිසා අම්මලා ඒකට වැඩිය කැමැත්තක් දක්වලා නැහැ.

ඊට පස්සේ මහනායක හාමුදුරුවනේ ?

කොහොම හරි ආනමරියා නැන්දාගේ බලකිරිමට අම්මලා මාව වෙද මහත්තයා ලගට අරන් ගිහින්. එතුමා ගම්පහ වික්‍රමාරච්චි වෙද මහත්තයාගේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ කෙනෙක්. එ් වෙද මහත්තයා හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතාගේ පරපුරේ කෙනෙක්.


කොහොම හරි වනසිංහ වෙද මහත්තයා මාව පරික්ෂා කරලා තෙල් ටිකක් නළලේ ගාලා මගේ තොලේ ගාලා ගෙදර අරන් යන්න කිව්වලු. වෙද මහත්තයා හවස ගෙදර එන්නම් කිව්වලු. මාව හවස මැරෙයි කියලා තමයි වෙද මහත්තයා හිතලා තියෙන්නේ. කොහොම හරි හවස් වෙද්දි මම ඇස් පිල්ලමක් හොල්ලලා තියෙනවා. පස්සේ වෙද මහත්තයා කෙසෙල් පතුරුවලින් ඔරුවක් හදලා ඒකට තෙල් පුරවලා මාව ඒකේ තියලා පහුවදා ආපහු තෙල් ඉවත්කරලා අලුතෙන් තෙල් දාලා මාව තියලා තියෙනවා. මෙහෙම දවස් තුනක් විතර ඔරුවේ තිබ්බට පස්සේ මම ඇස්පිල්ලන් ගහලා තියෙනවා.


එදා අනමරියා නැන්දයි වෙද මහත්තයි නොහිටියානම් මාව එදාම අම්මලා වළදානවා. පස්සේ මම ලොකු වුනාම ශාසකයට පුජාකරනවා කියලා අම්මලා හිතාගෙන.

මහනායක හාමුදුරුවෝ කුඩා කාලයේ අධ්‍යාපන කටයුතු වලට උනන්දුවක් දැක්වුවාද?

ඔව්. ඒ වගේම මම ක්‍රිඩාවටත් දක්ෂයි. ඒ කාලේ. ජනප්‍රියම ක්‍රිඩාව එල්ලෙ.මම සකෝලේ එල්ලේ කණ්ඩායමේ දක්ෂ ක්‍රිඩකයෙක්.ගමේ කවුරුත් මට ආදරෙයි.

කුඩා කා⁣ලේ දඟයිද ?

අපොයි ඔව්.මම හරිම දඟයි.තාත්තගෙන් තරවටු ඉවරයක් නැහැ. ස්කොලෙත් එහෙමයි.
ඒ කාලේ කොටුගොඩ ස්කොලේ විදුහල්පති සි.බි.එස්.කුලසේකර මහත්තයා. මගේ දඟ වැඩ නිසාම එතුමා කීපවරක්ම කිව්වා මූ නම් හදන්න බැරි මුරණ්ඩු කොල්ලෙක් කියලා. ගෙදරටත් නඩු ආවා කෙලවරක් නැතිව ස්කොලෙත් නඩු ඉවරයක් නැහැ.

පැවිදි වෙන්න යොමු වුණේ කොාහාමද?

ඇත්තටම මට මහණවෙන්න අදහසක් තිබුණේනැහැ.කොහොම හරි අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝයි ගල්කිස්ස පන්සලේ උණවටුනේ ධර්මපාල හාමුදුරුවෝයි හිතවත්. ගල්කිස්සේ හාමුදුරුවෝ අපේ පන්සලේ හාමුදුරුවන්ට කියලා තියෙනවා මහණ කරන්න ළමයෙක් හොයලා දෙන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ අපේ අම්මටයි තාත්තටයි කියලා මාව මහණ කරවමු කියලා. අම්මලා මේකට කැමැති වුණා. හැබැයි මම කැමැති වුණේ නැහැ.

ඊට පස්සේ?

කොහොම හරි මම පන්සලට ගිය දවසක හාමුදුරුවෝ මට ලියුමක් පෙන්නුවා.ඒක එවල තිබුනේ ගල්කිස්සේ හාමුදුරුවෝ .ඒකේ තිබුණේ මට දැන් ඇදුම රෝගය උත්සන්න වෙලා,මහණ කරන්න දරුවෙක් හොයලා දෙන්න. මේ මම ලියන අන්තිම ලියුම විය හැකියි. නැවත මේ ගැන මතක් කරන්න මම ජිවත් වෙන එකක් නැහැ කියලා.


මේ ලියුම කියෙව්වාම මටත් දුක හිතුනා.ඊට පස්සේ තමා මහණ වෙන්න කැමැතිවුණේ. 1948 දි තමයි මම මහණ වුනේ.

ගල්කිස්ස පන්ස⁣ලේ ඒ කාලේ පහසුකම් තිබුණාද?

අපේ පන්සලට ලයිට් තිබුණේත් නැහැ.කුප්පි ලාම්පුවෙන් තමයි සියල්ල කළේ.මේ පන්සල අවට ගස්කොළන් පිරිලා.අධික සීතලයි. ලොකු හාමුදුරුවෝත් අසනිප නිසා දොරවල් වහගෙන පන්සලට වෙලා ඉන්නවා. මම ඉතින් පිණ්ඩපාතේ යනවා.

ඉස්සර කොහේ හරි සර්පයෝ ඇල්ලුවොත් පන්සල ඉස්සරහ තියෙන කනත්තට ගෙනත් දානවා.ඒ සර්පයෝ ඊටපස්සේ ඇදිලා එන්නේ පන්සල් වත්තට.දවසක් මම නිදාාගෙන නැගිටලා පැදුර අකුලන්න කොට්ටේ උස්සන කොට මාපිලෙක් කොට්ටේ යට හිටියා.ඒත් කිසිම සතෙක්ගෙන් මට හානියක් වෙලා නැහැ

මහනායක හාමුදුරුවෝ හැමදෙනාගේම ගෞරවයට පත්වෙලා ඉන්නේ විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් හැටියට?

මම පුංචි කාලේ වෙරළේ මරණ ගෙවල්වල බණ කිව්වා. අද වගේ ගෙවල්වල බණ ගෙවල්වල බිමට පැදුරු එළිමක් නැහැ.අමු පොල් අතු එළාගෙන ඒවායේ ඉඳගෙන තමයි මිනිස්සු බණ ඇහැව්වේ.මම බණ කතාවක් බලාගෙන ගිහින් විස්තර කරලා කියනවා. ඒකට මිනිස්සු කැමැතියි.


කොහොම හරි ගුවන් විදුලියේ ධර්ම ⁣දේශනාවලටත් යොමුවුණා.කොහොම හරි කාලෙකදි ඩි.ඒ .වික්‍රමසිංහ කියන කපිතාන් මහත්තයා මාව නේපාලයට එක්ක ගිහින් බණ කියෙව්වා.


ඒ කාලේ බම්බලපිටිය වජිරාරාමේ නේවාසිකව හිටපු නේපාල ජාතික අමෘතානන්ද, අනුරුද්ධ ,සුමංගල, හා අශ්වගෝෂ කියන හාමුදුරුවරු නේපාලේ හිටියේ. මම සිංහලෙන් බණ කියනවිට ඒ හිමිවරු නේපාල භාෂාවට පරිවර්තනය කළා. ඒ ක්‍රමය නේපාලයේ ජනප්‍රිය වුණා.ඒ හින්දා මට නේපාලේ බණ ආරාධනා ගොඩකට යන්න වුණා.

මෙහෙම ඉන්නකොට ධර්මාශෝක රජතුමාගේ දියණියක් මෙන්ම දේවාපාල රජුගේ බිසවවු චාරුමති දේවිය පසුව මහණවි වැඩසිටි චාරුමති රජමහා විහාරය මට පුජා කළා.


ඒ වගේ බුරුමෙත් මම බණ කිව්වා.පස්සේ දායකයෝ මට ලක්ෂ 28ක මුදලක් පුජකළා මම බාරගත්තේ නැහැ.මම කිව්වා ඒ මුදලින් බුරුමයේ වෙනත් ශාසනික වැඩක්.හෝ දුප්පත් අයට උදව් කිරිමක් හෝ කරන්න කියලා.ඊටපස්සේ ඒ මුදල් දාලා තමයි පුරුමයේ ශ්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළේ.

මහානායක හාමුදුරුවෝ අද අමරපුර මහා නිකායේ උත්තරිතර මහනායක පදවිය දරනවා?

මම කවදාවත් කිසිම පදවියක් අපේක්ෂා කළේ නැහැ.මම නිකායේ හැම තනතුරක්ම දරලා තියෙනවා.⁣ ලේඛකාධිකාරි , අධිකරණ නායක, අනුනායක,මහනායක ,ආදි සෑම තනතුරක්ම මම දැරුවා.ඒ සෑම තනතුරක්ම මා වෙත ආවා මිසක් මම සොයාගෙන ගියේ නැහැ.මම සාම⁣ණේර අවදියේ සිටම පැවරුනු කාර්යය හරියට ඉටුකළා.ඒ කාගෙන්වත් ප්‍රශංසාගන්නවත්, තනතුරු ගන්නවත් නොවේ. ඒ මගේ සිරිත.

මහනායක හාමුදුරුවෝ දේශපාලනයට යොමු වුණේ නැද්ද?

රටට අවශ්‍ය අනුශාසනාව අවශ්‍ය වෙලාවට ලබාදෙනවා.ඒත් උද්⁣ඝෝෂණ කරන්න ,පෙළපාළි යන්න , දේශපාලන රැස්විම් අමතන්න මට නොයෙක් ආරාධනා ඇවිත් තියෙනවා.ඒවායේ යෙදි ඉන්න හාමුදුරුවරුත් මාව කැඳවාගෙන යන්නත් ආවා.නමුත් ඒ සියල්ල මම ප්‍රතික්ෂේප කරලා භික්ෂුවක් වශයෙන් ගෞරවය රැකගෙන ඉන්න මම ක්‍රියාකළා.එහි ප්‍රතිඵල තමයි මම අද මේ ලබා තියෙන්නේ.

  • ධර්ම ශ්‍රි තිලකවර්ධන

( මා විසින් ලියු සාහිත පොත් පියසෙන් ප්‍රකාශිත “ගුරු පාරෙන් බෝ මළුවට ” කෘතියෙන් උපුටා ගත් කොටසකි මේ.)

Related posts

මට හත් අට වතාවක් සිවුරු හැරයන්න හිතුනා – ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

Helarata

සසුන් කෙත පුරන් කරනු එපා…

Helarata

Collecting of ashes and bones…

Helarata

Leave a Comment

Translate »