හෙළරට - දේශිය පුවත්

නවගමුවේ රෑ ස්කොලෙන් සා.පෙළ ඉහළ ප්‍රතිඵල..

ජනක හෙට්ටිආරච්චි

බස්නාහිර පළාතේ ශ්‍රි ජයවර්ධනපුර කලාපයට අයත් නවගමුව පිලිප් තිලකවර්ධන මහ විදුහලේ 1976 වසරේදී ජාතික අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයෙන් විශාල පිරිසක් සමත් වීමෙන් පසුව 2019 වසරේ අපොස සාපෙළ විභාගයෙන් සියයට 60 ප්‍රතිශතයක් ලබමින් සිසුන් ඉහළින් සමත්ව ඇත.

මෙම විදුහලේ සමහර වර්ෂවල කිසිදු දරුවකු සමත් වී නැත. වර්තමාන විදුහල්පති චමින්ද ලියනගේ මහතා පැමිණ ආරම්භ කළ විශිෂ්ට වැඩපිළිවෙළ අනුව ආචාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙනි සිටි දරුවන් 2018 වසරේ සිට ඉහළ ප්‍රතිඵල ලබන්නට සමත්ව ඇත.


මෙම වැඩපිළිවෙලේ විශේෂත්වය වන්නේ පාසල් වේලාවෙන් පසුව රාත්‍රි 10 වෙනතුරු පාසල පැවැත්විමය.ඒ සාපෙළ සිසුන් සදහාය.පාසල් වේලාවෙන් පසුව එම සිසුන්ට ස්නානය කිරිමට පහසුකම් දි ඔවුන් ට දිවා ආහාරය ලබා දෙනු ලැබේ. පසුව කණ්ඩායම් ක්‍රමයට පාඩම් කිරිමට ඉඩ සලස්වනු ඇත.එසේම මෙම අමතර පන්ති සදහා කිසිදු ගුරුවරයෙකු ගාස්තු අයකිරිමකින් තොරව දරුවන් වෙනුවෙන්ම කැපවි සේවය කරයි.

මේ සම්බන්ධයෙන් හෙළරට පුවත් සේවයට අදහස් දැක්වු පිලිප් තිලකවර්ධන මහ විදුහලේ විදුහල්පති චමින්ද ලියනගේ මහතා.

විදුහල්පති චමින්ද ලියනගේ මහතා.

මම මේ පාසලට එනවිට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ අගයක තිබුණේ. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් තමයි වැඩිපුරම මෙහි ඉගෙනුම ලබන්නේ. 6 වෙනි ශ්‍රේණියේ සිට 11 දක්වා මෙහි පන්ති පැවැත්වෙනවා. නවගමුව සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයෙන් සෑම වසරකම 6 පන්තියට සිසුන් 60ක් පමණ මෙම විදුහලට ඇතුළත් වුණත් අතරමඟදි දරුවන් අස්කරගෙන යනවා. මෙය ගැටලුවක් බවට පත්වුණා. ඒ නිසා මා ගුරු මණඩලය සමග සාකච්ජා කර සිසුන් අස්කරගෙන යෑමට ඉඩ දුන්නේ නැහැ. දරුවන් අස්කරගෙන යන්නේ ඔවුන්ගේ අධ්‍යාපන තත්වය නැංවිමටනම් ඒ වගකිම මම බාරගන්න තීරණය කළා.ඒ අනුව තමයි රාත්‍රි 10 වෙනතුරු සාපෙළ සිසුන්ට පන්ති පවත්වන්න තීරණය කළේ.


කියන්න සතුටුයි ඒ ක්‍රමය ඉතා සාර්ථක වුණා. දරුවන් ඉතා උනන්දුවෙන් මේ සදහා සහභාගි වුණා.දරුවන්ට ස්නානයකර ඇඳුම් මාරුකර ගැනිමට පවා අපි පහසුකම් දුන්නා.දරුවන්ට දිවා ආහාරය සවස තේ පානය හා ආහාර පවා පාසලෙන් ලබාදුන්නා. මේ සියල්ල කිරිමට අපිට විශාල සහයක් දුන්නා නවගමුවේ ව්‍යාපාරික ප්‍රජාව. ඒවගේම නවගමුව පන්සලේ ආටිගල පුඤ්ඤරතන හාමුදුරුවෝ . ආදි ශිෂ්‍ය සංගමය නවගමුව පොලිසිය, දෙමව්පියන් අසල්වාසින් සියළු දෙනාම එකසේ සහය දුන්නා.ඒ වගේම මම මෙහිදි ගුරු මණඩලයේ කැපවිම විශේෂයෙන් අගයනවා.පාසල් වෙලාවෙන් පස්සේ ඒ අය රාත්‍රි 10 වෙනතුරු ඔවුන් ස්වේච්ඡාවෙන්ම මේ අහිංසක දරුවන් වෙනුවෙන් කැපවුණා.එසේම ඒ ගුරුවරුන්ගේ පවුලේ අය ගුරුවරුන්ට ඒ නිදහස ලබා දුන්නා.මේ සියල්ල නිසා 2017 වසරේ සිට අපේ අරමුණ ඉටුවුණා.


2018 වසරේ දරුවන් 48ක් විභාගයට ඉදිරිපත්වුණා. ඉන් 29ක් ඉහළින් සමත්වුණා. එය සියයට 59ක ප්‍රතිශතයක්. 2019 වසරේ සිසුන් 57ක් විභාගයට ඉදිරිපත් වුණා. ඉන් සිසුන් 34ක් ඉහළින්ම සමත්වුණා. එය සියයට 60ක ප්‍රතිශතයක්. මෙය අනාගත සාර්ථකත්වයේ පෙර නිමිත්තක්.


මේවසරේ අපිට බාධාවක් ඇතිවුණා මේ කොරෝනා වෛරසයට පාසල් වැසිමෙන්. නමුත් පාසල් යළි විවෘත කළ විට දරුවන්ගේ යහපත උදෙසා උපරිමයෙන් කටයුතු කරන්න අපි සුදානම්.

නවගමුව පිලිප් තිලකවර්ධන මහ විදුහල පුදේශයේ පැරණිම විදුහලකි.එය ආරම්භව ඇත්තේ 1870 දශකයේදිය.

විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති
චන්ද්‍රසේන පලිහේන මහතා විදුහල්පති චමින්ද ලියනගේ මහතා පැමිණිමත් සමගම විදුහල දියුණු කිරිමට විශාල වැඩ කොටසක් කළා. මුලින්ම අධ්‍යාපන මට්ටම නැංවිම සදහා මේ පියවර ගත්තා. මෙය ඉතා සාර්ථකයි.

ඇත්ත වශයෙන් විදුහල්පතිතුමාගේ මෙන්ම ගුරුමණ්ඩලයේ කැපවිම අපි ඉහළින්ම අගයනවා පාසලට දැනට පවතින්නේ පැරණි ගොඩනැගිලි කිපයක් පමණයි. පාසලට දෙමහල් හෝ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනිම අපේ අරමුණයි. ඒ සදහා කාගෙත් සහය අපට අවශ්‍ය වෙනවා. ආදි ශිෂ්‍ය සංගමයෙන් තෝරාගත් සිසුන් කිප දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානයකුත් කරනවා.

පාසල දියුණු කරගත්තොත් ප්‍රදේශයේ දරුවන්ට ප්‍රදේශයෙන්ම ඉහළ අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් වේවි. මෙි නිසා පාසල දියුණු කිරිමේ අපේ උත්සහයට සැමගේ සහය අපේක්ෂා කරනවා.

Related posts

සා.පෙල පාසැල් ලේඛනද ඔන්ලයින් ක්‍රමයටම….

Helarata

පාස්කු ප්‍රහාරයේ පැහැදිලි තොරතුරක් නැතිවිම කනගාටුවක් – මල්වතු අනුනාහිමි .

Helarata

බලාපොරොත්තු අත්හරින්න එපා – මහ රැජින කියයි

Helarata

Leave a Comment

Translate »