පින්කෙත

වාහනයේ හිරවෙලා ඉන්නකොට මට හිතුනේ එදා අපවත්වෙයි කියලා..

වාහනයේ හිරවෙලා ඉන්නකොට
මට හිතුනේ එදා අපවත්වෙයි කියලා – ප්‍රකට යතිවර
අප්‍රකට කතා – 5

නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමි

අනුනායක හාමුදුරුවන් ගේ පවුලේ විස්තර ?

මගේ අප්පච්චි විදුහල්පතිවරයෙක්.අම්මා ගුරුවරියක්. මගේ පවුලේ 9ක් ඉන්නවා.ඒ ඔක්කෝම පිරිමි. මම පවුලේ දෙවැනියා.

මුලික අධ්‍යාපනය ලැබුවේ?

මොලගොඩ ශ්‍රි පියදස්සි විදුහලෙන් මම පහ ශ්‍රේණිය දක්වා ඉගෙනගත්තා. ඊට පස්සෙ මාතලේ විජය විද්‍යලයට ගියා. අප්පච්චි වැඩකළේ මාතලේ දොඩම්දෙණිය ස්කොලේ. ඉතින් මාව විජය විදුහලට දැම්මා.අප්පච්චිට ඒ කාලේ පොඩි කාර් එකක් තිබුණා.ඒකෙන් තමා මම මාතලේ ස්කොලේ ගියෙත්.

ඒ කාලේ ගමේ පිහිටිම කොහොමද?

අද වගේ පාරවල් තොටවල් ගමේ නැහැනේ. ගමේම තිබුණේ ලොකු ගෙවල් දහයක් වගෙයි. විදුලියත් නැහැ.අපි පාඩම් වැඩ කළෙත් කුප්පි ලාම්පු එළියෙන්.

ළමා අවදිය විස්තර කළොත් අනුනායක හාමුදුරුවනේ ?

ස්කොලේදි වගේම ගමේ යාළුවෝ එක්කත් මම සෙල්ලම් කළා. ඒ කාලේ මගේ ප්‍රියතම ක්‍රීඩාව වුණේ වොලිබෝල්.තව ඔය චක්ගුඩු වගේ විවිධ ක්‍රිඩාත් තිබුණා.මම බාලදක්ෂ කණ්ඩායමෙත් හිටියා.බාලදක්ෂ කණ්ඩායමේ දෙවැනි පදක්කමත් මම ගත්තා.පළවෙනි පදක්කම ගන්න තියෙන කොට තමයි මම මහණ වුණේ.

අනුනායක හාමුදුරුවෝ පැවිදිවිමට යොමුවුණේ?

මහණ වෙන්න මගේ විශෙෂ අදහසක් තිබුණේ නැහැ. ඒත් අපේ අම්මාට ලොකු උවමනාවක් තිබුණා දරුවන් නව දෙනාගෙන් එක දරුවෙක් හරි මහණ කරන්න. අම්මා හැමදාම රේඩියෝ එකෙන් බණ අහනවා. ඒ කාලේ බැටරි දාලා අහන රේඩියෝනේ තිබුණේ. ඉතින් එහෙම බණ යනකොට අම්මා නිතරම කියනවා අනේ අපිට නැහැනේ මෙහෙම බණ කියන හාමුදුරුවෝ නමක් කියලා.


පොතුහැර චන්ද්‍රසේල පිරිවෙනේ පිරිවෙනේ වැඩ හිටි අහුගොඩ සීලානන්ද නාහිමි ඒ කාලේ වේලපත්කඩ බලන්න දක්ෂයි.ඒ කාලේ අපි නව දෙනාගේම කේන්දර පිටපත් අම්මා ඒ හාමුදුරුවන්ට තැපෑලෙන් යවලා තිබුණා.ඒ කේන්ද්‍රවල මගේ පලාපල වලට වෙනම ලියලා එවලා තිබුණාලු මට පැවිදි යෝගයක් තියෙනවා කියලා .


කොහොම හරි මහණ වීම ගැන අදහසක් පසුව මටත් ආවා.මම මහණ වෙනවා කිව්වාම බාලදක්ෂ කණ්ඩායමේ යාළුවෝ කෑගැව්වා පළවෙනි පදක්කම ගන්න තියෙන වෙලොවේ අයියෝ මොනවද මේ කරගන්න හදන්නේ කියලා.

පැවිදි වුණේ?

පැවිදි වෙන්න කලින් ඉඳලම මම පන්සලේ ඇසුර ලැබුවා.පන්සලට ගිහින් ශ්ලෝක පොත් කියෙව්වා. අප්පච්චි මාව බාර දුන්නේ නියංගොඩ පන්සලට.1964දි තමයි මම මහණ වුණේ.

පැවිදිවිමෙන් පසු නියංගොඩ ධර්මාලෝක පිරිවෙනින් හා වෑගම රත්මලේ රත්නසේල පිරිවෙනින් අධ්‍යාපනය ලැබුවා.


ඒ කාලේ දෙමටගොඩ විද්‍යලංකාර පිරිවෙන බාරව හිටියේ මගේ ගුරුහිමි නමක්වන බඹරදෙණියේ මේධානන්ද නාහිමියි.ඒ හින්දා අපි නිතර විද්‍යාලංකාර පිරිවෙනට ආවා ගියා. විද්‍යාලංකාර පරිවේනාධිපතිව වැඩසිටි යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි මගේ අධ්‍යාපනයට මුලිකව මග පෙන්නුවා.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පස්සේ?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මම ඇතුළත් වුණේ 1968දි. ඒත් උපාධිය ගත්තේ 1974දි.

ඇයි එහෙම වුණේ?

ඒ කාලේ 71 කැරැල්ල තිබ්බනේ.එ නිසා විශ්ව විද්‍යාලය වැහුවා.ඒකයි පමාවුණේ.

ඒ සිද්ධිවලට ඔබ වහන්සේත් සම්බන්ධද?

මම විතරක් නොවේ විශ්ව විද්‍යාල ප්‍රජාවම ජවිපේ දේශනවලට සහභාගිවුණා. ඒ කාලේ තිබුණේ රැල්ලක්නේ. ඉතින් ඒ රැල්ලට අපිත් හසුවුණා.එය ආකර්ෂණීය වැඩපිළිවෙළක් .ඒ නිසා ඒ නායකයන්ගේ දේශනවලට මමත් සහභාගිවුණා. 70 සමගි පෙරමුණු ආණ්ඩුවත් ආපු අලුත නිසා අපේ අදහස්වලත් ප්‍රබෝධයක් තිබුණා. විශ්ව විද්‍යාල සිසුන් නිසා රැඩිකල් අදහස්වලට බරවුණා.

පැවිදිවු අලුත ඔබ වහන්සේට යළි ගිහි ගෙදරට යෑමට අදහසක් තිබුණාද?

පැවිදි දිවියට වඩා ගිහි ගෙය වෙනස්.නිවසේ ඉන්න කොට අම්මා අප්පච්චිගේ ආදරය කරුණාව වගේම සහෝදර පිරිසගෙන් ලැබෙන ආදරය ලෙන්ගතුකම නැති වෙනකොට එවා යළි හොයාගෙන යන්න ඔිනෑම කෙනෙකුට හිතෙනවා තමයි. ඒත් පන්සලේදි පිරිවෙනේදි එක වයසේ පිරිසක් හැටියට පොඩි හාමුදුරුවරුන්ගේ තියෙන සාමුහික බැඳිම වගේ දේවල් නිසා යළි නිවසට යෑමේ අදහස අතහැරනෙවා. මටත් ඒ ස්වභාවයම මිස ආපහු ගිහි ගෙදර යන්න විශේෂ අදහසක් ආවේ නැහැ.

අනුනායක හාමුදුරුවන් ගේ ජිවිතයේ අමතක නොවන විශේෂ සිදුවිමක් තියෙනවාද?

කීපයක් තියෙනවා.එකක් කියන්නම්.මම ඇතුළු පිරිසක් චීනයේ ගිය වෙලාවක අධිවෙිගි මාර්ගයෙන් වෙනත් ප්‍රදේශයකට ගියා.ඒ යනකොට අධිවේගි මාර්ගයේ කන්ටේනර් දෙකක් පෙරළිලා තිබුණා.පාර වැහිලා තිබුණේ. කිසිම වාහනයකට යන්න බැහැ.අපිට පැය හයකට වැඩි කාලයක් වාහනයේ සිරවි ඉන්න වුණා.අධික සීතල නිසා වාහනයේ දොරවල් පවා ඇරුනේ නැහැ. වාහනයේ වායු සමිකරණයත් වැඩකළේ නැහැ. එදානම් හිතුනා වාහනයේම අපවත් වෙන්න වෙයි කියලා.පහුවදා එළිය වැටෙනකොට තමයි සහන කණ්ඩායම් පවා ආවේ. තවත් ඒ අය එන්න පමා වුණානම් අපේ ජිවිත නැතිවෙන්නත් තිබුණා.

ඔබ වහන්සේ අධ්‍යාපන කේෂත්‍රයටත් පිවිසියා?

ඔව් කුඩා උඩුව නාලන්දා පිරිවෙන, කොළඹ හුණුපිට්ය ගංගාරාම පිරිවෙන,ගිනිගත්හේන මධ්‍ය මහ විදුහල, ගිරිහාගම නියාමක විදුහල, පරණගම මහ විද්‍යාලය,මහවැලි මහ විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ මම සේවය කළා.

ශාසනික වශයෙන් අනුනායක හාමුදුරුවෝ දරන්නේ වගකීම් සහිත තනතුරක්?

ඔව් මල්වතු මහ විහාරයේ කර්මාචාර්ය ධුරයේ සිට කාරක සභික, උප ලේඛකාධිකාරි ,ප්‍රධාන ලේඛකාධිකාරි , ආදි තනතුරු දරලා 2004දි අනුනායක ධු රයට පත්වුණා.


භික්ෂුව දවසින් දවස බුද්ධිමය වශයෙන් මුවහත් විය යුතුයි.එසේ නොවුණොත් ආගම දහම හෝ වෙනත් ගැටලුවලට මුහුණ දෙන්න බැරිව යනවා.දාර්ශනික වශයෙන් අද භික්ෂුවට ඉටුකිරිමට විශාල කාර්යභාරයක් තියෙනවා.බුද්ධිමය සංවාදවල නිරතවිමටඅප සුදානමින් සිටිය යුතුයි.

  • ධර්ම ශ්‍රි තිලකවර්ධන

(ලක්බිම ප්‍රධාන උප කර්තෘ )

මාගේ “ගුරු පාරෙන් බෝමළුවට ” ග්‍රන්ථ මාලාවේ දෙවැනි කෘතියට කළ. සාකච්ජාවක කොටසකි

Related posts

සසුන් කෙත පුරන් කරනු එපා…

Helarata

කථිකාචාර්යකමෙන් මාව කපලා දැම්මේ මගේ වාසනාවකට ….

Helarata

මම මහණවෙන්න කැමති වුණේම නැහැ. (ප්‍රකට යතිවර අප්‍රකට කතා – 1)

Helarata

Leave a Comment

Translate »