හෙළරට - දේශිය පුවත්

අසිරිමත් තෙමඟුල අවබෝධයෙන් සමරමු!!!

අග්ගෝ හමස්මි ලෝකස්ස – ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස – අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ්භවෝ”

“මම ලොවට අග්‍ර වෙමි
මම ලොවට ජ්‍යේෂ්ඨ වෙමි
මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි
මේ මාගේ අවසන් උපතයි. නැවත උපතක් නැත.”

මෙලෙස අභීත ලෙස සිංහනාද කරමින් ලොවට අර්ථයක් සිදුකරන නාමයෙන් හැඳින් වූ අප මහාබෝසතාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදු වූයේ අදවන් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනකදීය.

ලුම්බිණි සල්වනයෙහිදී උපත ලද අප මහා බෝසතාණන් වහන්සේ සත් පියුම් මත පියවර තබමින් ඉහත කී සිංහනාදය මනාව පසක් කළ සේක.


දස මරුන් පරදා, සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී ගුණ දහම් පුරා ආ සසර ගමන නවතාලූ බව,
“අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං නකාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා”

( මම සසර දුකට මුල්වන පඤ්චස්කන්ධය නමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි.එහෙත් දක්නට නොලැබිණි.දැන් මම ඒ වඩුවා දිටිමි.යළි නුඹට මේ පඤ්චස්කන්ධය. නමැති ගෙය සෑදීමට හැකියාවක් නොමැත.ගෙයි පරාල බිඳ දැමුවෙමි.කැණිමඬල සුන් කළෙමි.තණ්හාව ක්ෂය කොට රහත් බවට පැමිණියෙමි.)

යනුවෙන් පළමු උදාන වාක්‍ය ලෙස බුදු මුවින් දේශනා කොට වදාළේ අදවන් දිනකදීය.

අවබෝධ කරගත් නිර්මල පිවිතුරු යථාර්ත දේශනාව ,පන්සාළිස් වසක් මුළුල්ලේ පතළ මහා කරුණාවෙන් තුන් ලෝ වැසි සත්ත්වයාට දේශනා කරමින් කටයුතු කොට ,අවසන මුළු ලෝ ධාතුවම කම්පා කරමින් පිරිනිවන් පාන්නට මත්තෙන්,

” හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ”

( මහණෙනි, දැන් මම ඔබ සැම අමතමි.සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය හ. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්න.)

ලෙස අවසන් බුදු වදන දේශනා කළේ ද අදවන් දිනකදීය.

මුල, මැද,අග යන තුන් තැනම යහපත් වූ පිවිතුරු ධර්මය ජීවිතයට මොන තරම් නම් සුවයක් සළසන්නේද? බුදුන් වහන්සේ දුක සේ අවබෝධ කොටගෙන දේශනා කළා වූ ධර්මයේ සුවය නිරන්තරයෙන් මෙනෙහි කරන්නෙකුට මෙවර වෙසක් චාරිත්‍ර මනා ලෙසටම ඉටු කරන අයුරු තව තවත් දිවියට කියා දෙන්නේය.
ලෝකය පුරාම ඇති වූ ව්‍යසනකාරී රෝගාබාධයන් තුළින් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ,
” අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති “
( සිතු දේ නොම වේ.නොසිතු දෙයක්ම වේ.)
උතුම් වූ බුදු වදන මනා ලෙසටම පසක් වන්නේය.

වෙන කාල වකවානු තුළදී වෙසක් පින්කම සැණකෙළියක් බවට පත් කර ගනිමින් කටයුතු කරන අතළොස්සක් වැනි පිරිස ඇතුළු මුළු මහත් ලෝකයාටම අද වනවිට සැබෑ බුදු දහම පිළිබඳ සිතන්නට කාලය උදා වී ඇතැයි සිතිය යුතුය. නිහඬ බව අගය කළ ශාන්ති නායකයාගේ ගුණ සිහිකරන මෙවර වෙසක් පින්කම මහා හූ හඬ ,නළා හඬ පසෙකලා හුදෙකලාව හිඳිමින් තමා පිළිබඳවම සිතන්නට කාලය වෙන් වී තිබේ.අන් අය බිය වද්දමින් නොයෙකුත් විරූපී වෙස් මුහුණු බැඳ කළා වූ අනිසි ක්‍රියාකාරකම් පසෙකලා තමනටම සසර බිය ඇති කරගත යුතු කාලය උදා වී තිබේ.


යුතුකම් අමතක කොට දුරස්ව සිටි නිවෙසියන්, අද එක තැනක සිට අන්‍යොන්‍ය සුහදත්වයෙන් අනෙකාට ගරු කළ යුතු ආකාරය මතක් කර දී තිබේ. ව්‍යාපාරයක් ලෙස බුදු ගුණ අලෙවි කළ වෙළෙන්දන් ඇතුළු සැම දෙනා හට බුදු ගුණ සිහි කොට තම නිවස තුළම පහන් කූඩු නිර්මාණය කරලන්නට ,නිවස පිරිසිදු කොට සරසන්නට නිදහස ලැබී තිබේ.


පන්සලට ගොස් මල් පහන් පූජා කළ ,පෙහෙවස් සමාදන් වූ පිනැතියනට තම නිවසෙහිම රැඳී සිට අවබෝධයෙන් පෙහෙවස් සමාදන් වන්නට,බුදු ගුණ සිහි කර ලන්නට, බවුන් වඩන්නට, පිරිත් සජ්ඣායනය කර ලන්නට ආදී වශයෙන් පින් සිත් පහළ කර ගනිමින් වෙසක් සමරන්නට භාග්‍ය සැලසී තිබේ.

 මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ධර්මාචාර්‍ය, 

බැද්දේවෙල ධම්මකිත්ති හිමි

Related posts

Smartphone Separation Anxiety: Scientists Explain Why You Feel Bad

Helarata

දෙවන නාවික හමුදා භටයත් සුව අතට…

Helarata

රූපලාවන්‍යාගාර විවෘත කිරිමට මාර්ගෝපදේශණ..

Helarata

Leave a Comment

Translate »