හෙළරට - දේශිය පුවත්

ලෝක ස්වභාවය හමුවේ සැවොම අසරණවුණා…

ලෝක ස්වභාවය හමුවේ සැවොම අසරණවුණා…අගමැති ජාතික වෙසක් උත්සවයේදි කියයි

ජාති ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යයින් බව වැටහී ඇති මේ මොහොතේ බුදුදහමේ උත්තරීතර ප්‍රාර්ථනාව වන සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යි ලෝකය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2020.05.06) අරලිය ගහ මන්දිරයේ පැවැති රාජ්‍ය වෙසක් උළෙල අමතමිනි.

බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් පසුව වෙසක් දින සැමරුම් මුද්දර 4ක් සහ මුල්දින කවර ද මෙහිදී එළිදැක්විනි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම මුද්දර හා මුල්දින කවර පළමුව මල්වතු පාර්ශ්වයේ අනුනායක, රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියන්ට පිළිගන්වන ලදි.
පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද මුද්දර හා ලිපිකවර පිළිගැන්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා :

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිණිවන්පෑම සිහිපත් කරන වෙසක් පොහොය ලෝකයේ තිබෙන උතුම්ම දිනය හැටියටයි බෞද්ධ අප සළකන්නේ. ඒ නිසාම අපේ චිරාගත බෞද්ධ සිරිතක් තිබුණා, කෙනෙකුගේ වයස ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. අනාගතය ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. බුද්ධාගම ආරක්ෂා කරන ආණ්ඩුවක් එන්නේ කවදා ද කියලා මගෙන් ඇහුවම මම එදා උත්තර දුන්නෙත් වෙසක් පෝය ගණනින්. දැන් ඒ වෙසක් පෝය උදාවෙලා.
වෙසක් පෝය බෞද්ධ ජනතාවගේ විතරක් නෙවෙයි ලෝකයේ නොයෙක් ආගම්වල, ජාතීන්වල අයගේ ගෞරවයට ලක්වුණ දවසක්. කොයි ජාතීන්ගේත් පිළිගැනීමට ලක්වුණ දවසක්. ඒ නිසා අද වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් හැටියට සළකනවා. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරන්න වෙහෙස මහන්සිවෙලා කටයුතු කළේ ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමා.

ඒ වගේම ලංකාව යටත් විජිතයක් හැටියට පැවතුන කාලේ වෙසක් දවස රජයේ නිවාඩු දවසක් හැටියට පත් කරන්න යෝජනා කළේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා.

බෞද්ධ අපේ උතුම්ම ගුණයක් තමයි කෙළෙහි ගුණ සැළකීමේ ගුණය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණ ගමන් කළේ තමන් පිටදුන් බෝධියට පවා කෙළෙහි ගුණ සැළකීම. ඒ උතුම් ගුණාංගය ආදර්ශයට අරගෙන අපි මේ වෙසක් පෝය දවස ජාතික හා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරපු වීරයින්ට කෘතිවේදීත්වය පළකරන්න ඕනේ.

බෞද්ධ ජනතාව අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පාවට පත්වන්නේ නෑ. ඒ නිසා අපි කොවිඞ් -19 වසංගතය ධර්මය තේරුම්ගන්න, ලෝක ස්වභාවය තේරුම්ගන්න පිටි වහලක් කරගන්න ඕනේ.

සමහරු හිතනවා මේ වසංගතය, ස්වභාව ධර්මය විසින් ලෝක සත්වයාට දුන්න දඬුවමක් කියලා. ඒ නිසා සමහර අය සතහට සෙත සළසනවාට වඩා කොවිඞ් වසංගතය දුරුකරන්න සම්බන්ධවෙලා වැඩ කරන අයටත් දඩුවම් දෙන්න යෝජනා කරන බව අපිට ඇහිලා තියෙනවා.

බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ දඬුවමින් සියල්ලෝ තැති ගනිති, දඬුවමට සියල්ලෝ බිය වෙති කියලයි. ඒ නිසා අපි දඬුවම් දෙන්න යන්නෙත් නෑ. දඬුවම් දෙන පවුකාර සිතිවිලිවලින් අපි බැහැර වෙනවා විතරක් නෙමෙයි මේක ස්වභාව ධර්මය දීපු දඬුවමක් හැටියට භාරගන්නෙත් නැති බව කියන්න ඕනේ.
මේක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවයට ලෝක බලවතුන් කියලා, දුබලයින් කියලා වෙනසක් නෑ. ලෝකයේ මොනතරම් බලවතුන් වුණත් ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑ. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවා කාටත් පොදුයි. කොතනටත් පොදුයි. අද මේ වසංගතයෙන් ලෝකයේ දිළිඳුම පුද්ගලයා වගේම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයොත් පීඩාවට පත්වනවා. ලෝකයේ බලවත්ම රටවල රාජ්‍ය නායකයින්ටත් වසංගතයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. සොබා දහම වෙනස් කරනවා කියලා කියපු අයට අද ලෝක ස්වභාවය ඉස්සරහා අසරණ වෙන්න වෙලා තියෙනවා. මේ ධර්මතාව ලෝකයට තේරුම් කරලා දෙන එක තමයි මේ වෙසක් සමයේ අපට කරන්න පුළුවන් හොඳම පූජාව.
වසර දහස් ගණනක් තිස්සේ සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය නොවැටී නොකැඩී ආරක්ෂා කරගන්න අපට පුළුවන් වුණා. එහෙම කරන්න පුළුවන්කම ලැබුණේ එදා අපේ ලාංකික බෞද්ධයෝ බුදුදහම කියන ජීවන ක්‍රමයට අනුව ජීවත් වුණ නිසයි. බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ චාම් සරල ජීවන ක්‍රමයක්. කොයිතරම් දරුණු සාගත ආවත් දුර්භික්ෂ ආවත් ආක්‍රමණ ආවත් බෞද්ධ ශිෂ්ටාචාරය නොවැටී තිබුණේ අපේ තිබුණ අල්පේච්ඡ ජීවන ක්‍රමය නිසා. අපි ලෝකයේ දැහැමිම රැකියාව හඳුනාගත්තා. අපි මහා ජලාශ බැන්දා. අපි අපේ රටට වුවමනා දේ අපේ රටේම නිපදවා ගත්තා. අපේ දේවල් වවාගත්තා. ඒවා දනට පූජා කළා. අපි වෙන රටවල දේට හීල්ලුවේ නෑ. ඒවාට ලොබ බැන්දේ නෑ. ආශා කළේ නෑ. අපිට නොවැටී සතුටින් නිදහසේ මේ රටේ ජීවත්වෙන්න ලැබුණා. ඒ නිසා තමයි ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයට දීර්ඝායුෂ ලැබුණේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක, රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, දර්ශනපති ආණමඩුවේ ධම්මදස්සී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල හිමි,සමස්ත ලංකා අමරපුර මහ සංඝ සභාවේ මහ ලේඛකාධිකාරි පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, දිවියාගහ යසස්සි නාහිමි , උඩුවේ හේමාලෝක නාහිමි , විහාරාධිපති, ඔලබොඩුවේ ධම්මික නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, උඩුවේ ධම්මාලෝක හිමි, ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ගෝණදූවේ ගුණානන්ද නාහිමි, අග්‍රහැරේ කස්සප හිමි, තලගල සුමනරතන හිමි, කරගස්කදුරේ සීලවිසුද්ධි හිමි, වටිනාපහ සෝමානන්ද හිමි, ගැටමාන්නේ ගුණානන්ද හිමි, එගොඩ උයනේ ඥාණවිමල හිමි, ගලගම ධම්මරංසි හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට සහභාගි වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවිර, පියල් නිශාන්ත, මහින්ද සමරසිංහ මහත්වරුද, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, තැපැල්පති රංජිත් ආරියරත්න,අධ්‍යක්ෂ (පූජාභූමි) රුචිර විතාන, ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද එක්වූහ.

Related posts

කටුනායකට ඇදිරිනීතිය

Helarata

බාර්වල පොරකෑම් ආදියෙන් රෝග පාලනය ගිලිහි ගියහොත් තත්වය භයානක විය හැකියි..

Helarata

ඉතාලියේ කොරෝනා මරණ අද (30) 800 ඉක්මවා යයි.

Helarata

Leave a Comment

Translate »