හෙළරට - දේශිය පුවත්

භික්ෂුව කුඹුරු කෙටීම – ගීත ගැයීම හා සසුනේ පැවැත්ම..

භික්ෂුව කුඹුරු කෙටීම
ගීත ගැයීම හා සසුනේ පැවැත්ම

මහාචාර්ය කපිල අභයවංශ

ශාසනයේ ආයුෂ ලෙස පිළිගෙන ඇත්තේ විනයයි (විනයො නාම සාසනස්ස ආයු*. මෙයින් අදහස් වන්නේ භික්ෂූන් තුළ විනය රැඳී පවත්නා තාක් කල් සසුන සුරක්ෂිතව පවත්නා බවයි. එසේ නම් සසුන ආරක්ෂිතව පවත්වා ගැනීම භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රමුඛ වගකීමක් බවට පත්වෙයි. සසුන දිගුකල් පවත්වා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි මෙහිදී ප‍්‍රශ්නයක් පැනනගිනු ඇත. බුදුන් වහන්සේ විසින් ලෝකසත්වයාගේ හිතසුව සඳහා ඉදිරිපත් කළ උතුම් සද්ධර්මය ශාසනය නමින් හැඳින් වෙයි. එය දිගු කලක් තිස්සේ පවත්වා ගැනීම තුළින් බොහෝ ජනතාවකට එම ශාසනයේ මහඟු ප‍්‍රතිඵල උදා කරගත හැකිය.

තමන් විසින් අතිශය දුෂ්කර අන්දමින් සොයා ගත් එම දහමේ ප‍්‍රතිලාභ බොහෝ කාලයක් තුළ බහුතර ජනතාවකට ලබාදීම බුදුන් වහන්සේ තුළ පැවති උදාර අපෙක්ෂාවකි.
සසුන රැකීම භික්ෂූන් වහන්සේලාගේ උරුමයක් වන්නේ කෙසේද? බුද්ධත්වයෙන් අවුරුදු විස්සකට පමණ පසු විනය ශික්ෂා පැනවීම මගින් භික්ෂූන් කිසියම් සංස්ථාගත තත්වයකට ගැනීමෙන් බුදුන් වහන්සේ අදහස් කොට ඇත්තේ භික්ෂූන්ගේ පෞද්ගලික පාරිසුද්ධිය අපේක්ෂා කිරීම පමණක් ම නොවේ.තමන් වහන්සේ ලොවට ඉදිරිපත් කළ ධර්මයේ ජීවමාන ආදර්ශය භික්ෂු සංස්ථාව තුළින් ලොවට විදහා පෑම ද උන්වහන්සේගේ අරමුණක් විය. එමගින් බොහෝ ජනතාවක් ධර්මය කෙරෙහි නතු කරගැනීමේ හැකියාවක් ඇත. විනයානුකූලව හැසිරෙන භික්ෂූන් දක්නා විට ඒ උපශාන්ත ඉරියව් කෙරෙහි ජනතාව ඉබේම ඇදී යයි. සත් හැවිරිදි සුමන සාමණේරයන්ගේ සන්සුන් ඉරියව්වලින් චණ්ඩාශොක ධර්මාශොක කෙනකු වූ අයුරු අපි අසා ඇත්තෙමු.

දැන හෝ නොදැන භික්ෂුත්වයට ඇතුළු වන්නා සංස්ථාගත නීතිරීතිවලට අවනත වියයුතුය. හෙතෙම නොපැදුනවුන්ගේ පැහැදීම සඳහාත් (අප්පසන්නානං වා පසාදාය* පැහැදුනවුන්ගේ පැහැදීම වැඩිදියුණු වීම සඳහාත් (පසන්නානං වා භීයේ‍යාභාවාය* පිළිපන්නෙකි. එබැවින් භික්ෂූන් වහන්සේ සසුන රැුකීම අනිවාර්යයෙන් උරුම කොට ගන්නා ලද්දෙකි.


භික්ෂුවගේ සමාජ හැසිරීම අනුන්ගේ අප‍්‍රසාදයට භාජනය වන්නේ නම් එමගින් සසුනට වන හානිය අතිමහත්ය. භික්ෂුව නිතර ම තමන්ගේ චර්යාව තුළින් අනුන් පහදවන්නකු වන්නේ නම් එය සසුනේ පැවැත්මට හා සුරැුකීමට අතිශය උපකාරී වෙයි.

ථෙරවාද භික්ෂු සම්ප‍්‍රදාය මේ අතින් උත්කෘෂ්ට තත්වයක පැවතියේයයි අපට අතීතානුස්මරණයක යෙදිය හැකිය. ප‍්‍රධාන සංගායනා තුනම ථෙරීය භික්ෂූන් වහන්සේ විසින් පවත්වා ඇත්තේ භික්ෂූන් තුළ විනය අවධාරණය කිරීමේ අවශ්‍යතාව නිසාය. ඒ ආභාසයෙන් සංවර්ධනය වූ ශී‍්‍ර ලාංකීය භික්ෂුන් වහන්සේ ද තම දිවි පරදුවට තබා සසුන රැුක ගැනීම පිළිබඳ වංසකථාවක් අප සතුව ඇත. මෙහි ලා බුදුන්වහන්සේගේ අදහසක් සඳහන් කරනු වටී. එය තම ශ‍්‍රාවක භික්ෂූන් කෙරෙහි බුදුන් වහන්සේ තුළ පැවති විශ්වාසය තහවුරු කරන්නකි. ”මහණෙනි මා විසින් යම් ශික්ෂාපදයක් පණවන ලද්දේ ද මගේ ශ‍්‍රාවක භික්ෂූහු ජීවිත හෙතුවෙන් වුව ද එය ඉක්මවා නොයති.” (යම්පි භික්ඛවෙ මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතූපි නාතික්කමන්ති*. බුදුන් වහන්සේ භික්ෂූන් කෙරෙහි තැබූ එම විශ්වාසය වර්තමාන ඇතැම් භික්ෂූන් කෙරෙන් කොතෙක් දුරට විදහා දැක්වේද?

ශීලාදී ගුණයෙන් යුත් භික්ෂූන් වහන්සේ කෙරෙන් ලක් බුදුසසුනටත් ලාංකික ජනජීවිතයටත් සිදු වූ සේවාව අතිමහත්ය. එමෙන් ම එය අතිශයින් අගය කළයුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාතෘවරු උන්වහන්සේලා වූහ. රාජ රාජමහාමාත්‍යවරුන් හා මහජනතාව සුමගට යොමු කිරීමට උන්වහන්සේලාගේ පෙළඹවිම අතිශයින් උපකාරී විය. එහෙත් වර්තමාන භික්ෂු තත්වය පිළිබඳව බෞද්ධයන් වශයෙන් අපට සෑහීමකට පත්විය හැකිද? ශාසන භාරධාරී සුපෙශල මහ සඟරුවනත් බෞද්ධ මහ ජනතාවත් අවශ්‍ය පියවර නොගන්නේ නම් සමස්ත ලාංකික භික්ෂු සමාජය ම ඉතා ඉක්මණින් ජනතා අප‍්‍රසාදයට භාජනය වනු නොවැළැක්විය හැකිය.

ඇතැම් භික්ෂූන් සුපෙශල භික්ෂු ආකල්පවලින් ඈත්වී ගෙන යන වේගය බෙහෙවින් ඉක්මන් වී තිබේ. දකින්නට හා අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් භික්ෂූන් තුළින් කිසිසේත් බලාපොරොත්තු විය හැකි දේ නොවේ. අතරින් පතර ඇතැම් අඩුළුහුඬුකම් ඇත්තවුන් දක්නට ලැබීම කවර සමාජයක වුව ද ස්වාභාවිකය. බුදුන් සමයෙහි ද එවැන්නෝ භික්ෂු සමාජයෙහි වූහ. එහෙත් සමස්ත සමාජයම ඔවුන් දෙසට තල්ලූ වී යාමට තරම් ඔවුන්ගේ පෙළඹවීම් ප‍්‍රබල නොවීය. එපමණක් නොව ඔවුන් ප‍්‍රතිබාහනය කිරීමට අවශ්‍ය පියවර ද සුපෙශල භික්ෂූන් විසින් ගනු ලැබිණ.


අවශ්‍ය අවස්ථාවන්හි සුදුසු පියවර නොගෙන වෙන දෙයක් වේවායි බලා සිටීමේ න්‍යායය නිසා වර්තමාන ලාංකික භික්ෂු සමාජය වේගයෙන් පරිහාණිය කරා තල්ලූ වෙමින් තිබේ.

භික්ෂූන් දෙශපාලනයෙහි නියාමක වරුන් වියයුතුව තිබියදී දෙශපාලකයන් වීමට දැරූ උත්සාහය වර්තමාන පරිහානියේ මූලාරම්භය ලෙස දැක්විය හැකිය. පිල්වලට බෙදුණු භික්ෂුව තම බලය පතා ජනතාව ජාතිවාදී හා ආගම්වාදී උන්මත්තකයන් කරවමින් සමාජ පරිහානියකට මග පෑදුවා පමණක් නොව තරුණ භික්ෂූන් භික්ෂූත්වය අමතක කොට බලය හා ධනය පසුපස හඹා යන තැනට පෙළ ගැස්වීමට ද පෙරමුණ ගත්හ.

නූතන ආටෝප සංස්කෘතියේ ඉත්තන් වී සිටින ඇතැම් භික්ෂූහු කසී සළු වන් දිදුලන චීවරධාරීව උපන් දින කේක් කපන පින්තූර සමාජමාධ්‍යගත කරන තරමට පරිභොජනවාදී බටහිර නූතනත්වයට අවනත වෙමින් සිටිිති. ජනතාවගේ ගරුබුහුමණට බඳුන් වූ බුද්ධ චීවරයට නිගා දෙමින් ටී ෂර්ටයෙන් සැරසී හිස් වැසුම් පැළඳ නළු වෙස් ගන්නා තරමට භික්ෂු ජීවිතය හෑල්ලූ වන තත්වයකට පත්ව තිබේ.

දක්නට ලැබෙන අලූත්ම තත්වය වන්නේ මෙතෙක් පරපටිබද්ධව පැවති භික්ෂුජීවිතය ස්වයංපොෂණයක් කෙරෙහි නතු කරවීමයි. භික්ෂුව පුණ්‍යක්ෙක්‍ෂත‍්‍රයක් ලෙස පෙනී සිටියේ තමන් යහගුණයෙහි පිහිටා අනුන් යහගුණ දහමින් පෝෂණය කළ බැවිනි. දැන් අනුන් නැතිව තමන් තම ශක්තියෙන් බත බුලතින් පොෂණය වීමට අවශ සාධක සැකසෙමින් පවතින බවක් දක්නට ලැබේ. උමන්දාවන් තුළ අමන්දානන්දයෙන් කෙරෙන වගා ව්‍යාපෘතිවලට අතිරේකව තම පන්සල් සතුව ඇති ගොඩමඩ ඉඩම් වගා කිරීමේ කටයුතු තමන් අතට ගැනීමට භික්ෂූන් උත්සුක වන සැටි මේ දිනවල දැක ගත හැකිය.

වර්තමාන ආර්ථික අර්බුධය හමුවේ භික්ෂුකාර්යභාරය කෘෂිකර්මාන්තයෙහි නියැලීමයි යන මතය සමාජගත වීමට වැඩි කල් නොයනු ඇත. පෙර රජමැති ඇමතිවරුන් පන්සල්වලට කෙත්වතු පුද කළේ භික්ෂූන් ලවා කුඹුරු කරවා සී සා රට ස්වයංපෝෂිත කිරීමට නොවේ. ඒවා සඳහා වෙන ම යෙදවූ ගිහි පිරිස් සිටියහ. ඒවායින් බලාපොරොත්තු වූයේ බුදුසසුනේ පෝෂණයට අතහිත දීමයි.
බැමිණිටියා සාය නමින් එන අවුරුදු දොළසක් පුරා පැවති මහා සාගතයේදීවත් භික්ෂූන් කුඹුරට බැස්සේ නැත. ඉතා දුෂ්කර ලෙස දිවි ගෙවමින් උන්වහන්සේලා ති‍්‍රපිටක ධර්මය ආරක්ෂා කරගත් ආකාරය අටුවා පොත්වල සඳහන් වෙයි. ඒ උන්වහන්සේලාට කුඹුරට බැසීමට නොහැකියාවක් වූ නිසා නොවේ. පැවති ශික්ෂා ගෞරවය නිසාය.

පොළව කැණීම කැණවීම භික්ෂූන් විසින් නොකළයුතු වරදක් සේ විනයෙහි එනු පමණක් නොව සිවුරු කැස කවා ගෙන ගිහියන් ලෙසින් සී සෑම භික්ෂු සාරුප්‍යයට කිසි සෙත් ගැලපෙන්නක් නොවේ. භික්ෂුව ගිහියාගෙන් වෙන් වූවෙකි. භික්ෂුවට අනන්‍යතාවක් තිබේ. ඒ අනන්‍යතාව අත්හළ විට භික්ෂුව ගිහියාගෙන් වෙනස් වූවෙක් නොවේ. ගිහී ආකල්පයෙන් තමා වෙනස් වූවකු ලෙස නිබඳ සිහිපත් කළ යුතුයයි බුදුන් වහන්සේ භික්ෂූනට අවවාද කොට ඇත්තේ එබැවිනි.

ඇතැම් භික්ෂූන් වේදිකාවල හා පෙළපාලිවල ආවේෂ වූවන් ලෙස හැසිරෙනු දැක ඇති අයට භික්ෂූන් සී සෑමේ ඇති වරද කිමෙක්දැයි සිතෙන්නට ද බැරි නැත. එහෙත් පටන් ගැන්ම මේ අයුරින් වන විට අවසානය කාෂාවකණ්ඨක නමින් එන ගණින්නාසෙලාගෙන් වීමට කොතෙකුත් ඉඩ තිබේ. කෘෂිකර්මය කෙරෙහි භික්ෂූන් උනන්දු කරවීම රාජ්‍ය මට්ටමෙන් සිදුවන බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් එකකය මගින් ජාතියේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් එක් වෙමු ‐ හෙට වෙනුවෙන් අද වවමු ‐සෞභාග්‍යා ගෙවතු වගා වැඩ සටහන යන තේමාව යටතේ පිරිවෙන් භික්ෂූන් උනන්දු කරවීමේ වැඩ පිළිවෙලක් දැන් ඇරඹී ඇත. ඒ සඳහා බීජ බෙදා හැරීම ද සිදු වෙමින් ඇත. නොබෝ දිනකින් කෘෂිකර්මය පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් සඳහා වන විෂය මාලාව අතරට එක්වීමට ද ඉඩ තිබේ.

බුදුදහමට ප‍්‍රමුඛත්වය දෙමින් බුද්ධශාසනය පෝෂණය කිරීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. භික්ෂූන් කෘෂිකර්මයට නතු කරවීමෙන් පිරිවෙන් අධ්‍යක්ෂ හිමිවරුන් මේ තැත් කරන්නේ රජයෙන් අපේක්ෂිත බුද්ධශාසනයේ පොෂණය අර්ථවත් කරන්නටදැයි අපට ඇසීමට සිදු වෙයි. පොෂණය කෙසේ වුවත් ශාසනයේ පරිහානිය නම් වේගවත් වි ඇත. ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම මිනිසුන් කෙරෙන් ඈත් කරවන විවිධ පුදපූජා හඳුන්වා දෙන වැඩ සටහන් දිනෙන් දින ඉස්මතු වෙයි. පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බැතිගී ගායනයට වේදිකාගත කරවීම අළුතින් ම එක් වූ අංගයයි. මෙබඳු තත්වයන් හමුවේ ශාසනභාර ධාරීහු කොයිබටදැයි ජනතාව බලා සිටියි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතිය පිළිබද අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති , තායිලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල අභයවංශ

Related posts

රණවිරු සංවත්සරයට ෆිල්ඩ් මාර්ෂල්ටත් ඇරයුම් කළා – හමුදාපති කියයි

Helarata

ලංකාවේ සංචාරයට බීබීසීය අතවනයි…

Helarata

විදුලියට රතු බිල් එන්නේ නැහැ…

Helarata

Leave a Comment

Translate »