හෙළරට - දේශිය පුවත්

බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර…

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ගණනට මගීන් ප්‍රවාහණයට 13දා සිට අවසර ලබා දීමට විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කරයි .

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහණ සේවා විදිමත් කිරීම සම්බන්ධව

(12) අදාල සියලු අංශ සමග ප්‍රවාහන හා කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාවට පළාත් ප්‍රවාහන බලධාරින්, අමාත්‍යාංශයේ නිලධාරින්, මෙන්ම මගී ප්‍රවාහණ සේවාවල නිරතවන සංගම්වල නියෝජිතයින්ද සහභාගි විය.

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මහජන සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පහත සඳහන් තීන්දු තීරණ ගනු
ලැබීය.

සියලුම පුද්ගලික බස් රථ 12 දින සිට ප්‍රවාහණ කටයුතු ආරම්භ කරන ලෙස ඇමතිවරයා අදාල සංගම්වලින් ඉල්ලා සිටියේය. දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල 12 දින සිට ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහණය සඳහා අවසර ලබා දෙන අතර

එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාල වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහා පමණි.

සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහණ සේවා සැපයීමේ දී අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහණ සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස ඇමතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බස් රථවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳසිටීම අනිවාර්යය වේ. මුඛ ආවරණ නොමැති කිසිවෙක් බස් රථවලට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇත. සියලුම මගීන් බස් රථයට පසුපස දොරෙන් ඇතුලුව ඉදිරි පස දොරෙන් බැස යා යුතුය. විෂබීජනාශක සෑම බස් රථයකම තිබිය යුතු අතර බස් නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් සළසා තිබේ.

සාමාන්‍ය මගී ජනතාව වෙත කෙරෙන නිවේදනය නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහණ සේවාවන් භාවිතා කිරීමට කටයුතු නොකළ යුතුය යන්නයි.දුම්රිය මගීන් ප්‍රවාහණයේ දී දැනට ප්‍රවාහණ පහසුකම් සැලසෙන්නේ වාර ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයින් සඳහා පමණි.

එහෙත් ආසන ගණනට මගීන් ප්‍රවාහණය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට 12 දින සිට ම තාක්ෂණික ගැටලුවක් නොමැති නම් මුදල් ගෙවා ටිකට් පතක් ගෙන යාමට අවස්ථාව සැලසිය හැකිය. මේ සම්බන්ධව දුම්රිය බලධාරින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගනු ලැබේ.

ඇතැම් රජයේ සේවකයින් ප්‍රවාහණ සේවා පහසුකම් නොමැතිව සිටින බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පෙන්වුවද, එම සේවකයින් දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට හෝ නිසි පරිදි දුම්රිය හා ලංගම බස් රථවල ගමන් කිරීම සඳහා අවසර ගත් පිරිස් නොවන බව පෙනී ගොස් ඇත.එහෙත් ඇතැම් ස්ථානවල අඩුලුහුඩුතා දක්නට ලැබුණත්,ලංගම මගින් පෙරේදා දිනය තුළ ප්‍රශස්ථ සේවාවක් ලබා දි ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

තවද, පුද්ගලික බස් රථ සංගම් විසින් පසුගිය කාලය තුළ බස් රථ හිමියන් මුහුණ දී සිටි ගැටලු ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ සියල්ල සම්බන්ධයෙන් 13 දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බව ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෙසේ වුවද ලබන සදුදා වන විට සියලු ප්‍රවාහණ සේවා යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙතැයි ද ඇමතිවරයා අවධාරණය කළේය

Related posts

කොරෝනා සුවකිරිමට ආයුර්වේදයට ගුරුකුලය හරස්වෙලා…

Helarata

ජකර්තා සීමා ලිහිල් වෙයි…

Helarata

බස්නාහිර 6295ක් නිරෝධායනයට …

Helarata

Leave a Comment

Translate »