පින්කෙත

ඒ අනතු⁣රෙන් මගේ ඇසක් එළියට ආවා කකුලට යකඩ පතුරු හා ඇණ දාලා තියෙන්නේ ප්‍රකට යතිවර අප්‍රකට කතා – 6

ඒ අනතු⁣රෙන් මගේ ඇසක් එළියට ආවා
කකුලට යකඩ පතුරු හා ඇණ දාලා තියෙන්නේ

විද්‍යාලංකාර පරි⁣වේනාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති – වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

නායක හාමුදුරුවන්ගේ උපන්ගම වැලමිටියාව?

ඔව් අපේ ගම රුවන්ගිරි කන්ද, වැලිමිටියා රජමහ විහාර කන්ද ,හුරුක්ගමුවේ කන්ද කියන කඳු තුනකින් අපේ ගම වටවෙලා.විශාල වෙල් යායක් වගේම ගම මැද ඇළක් තියෙනවා.

පාසල් ගිය අවධිය ?

අපේ ස්කොලේ හිටියා විදුහල්පතිවරයෙක් බොහෝ සැර.ඒත් ළමයින්ට ආදරෙයි.ගණිතය බැරි ළමයින්ට පාසල ඇරුණත් එතුමා ගෙදර යන්න නොදි තියාගන්නවා.මුලින්ම කන්න දෙනවා.ඊට පස්සේ හවස් වෙනකල් උගන්වනවා.මමත් ඒ දඬුවම කීපවරක්ම අහුවුණා.

ඒ කාලේ නායක හාමුදුරුවන්ට පැවිදි වෙන්න අදහසක් තිබුණාද?

පොඩි කාලේ ඉඳලම මට එහෙම මහණ වෙන්න අදහසක් තිබුණා.අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ උරුක්ගමුවේ ගුණරතන හාමුදුරුවෝ .උන් වහන්සේ ගමේ දියුණුවට හරියට වැඩකළා.ගමේ මනුස්සයෙකුට ලෙඩක් දුකක් හැදුනත් වඩිනවා.ඉතින් ලොකු හාමුදුරුවන්ගේ සේවය දකිනකොට පැවිදිවිමේ ආසාව මට වැඩිවුණා.
මම දවසක් ගෙදර මිදුලේ ඉන්න කොට ලොකු හාමුදුරුවෝ පාරේ වඩිනවා. හාමුදුරුවෝ මාව දැකලා කිව්වා යමු පන්සලට කියලා.එදා පන්සලට ගියාම හාමුදුරුවෝ මට කන්න දුන්නා.එදා තමයි පන්සලකින් මුලින්ම කෑම කෑවේ.මහණ වෙන්න කියලා හාමුදුරුවෝ කිව්වේ නැහැ. ආපහු ලබන සතියෙත් එන්න කිව්වා.

එතකොට විද්‍යාලංකාර පිරිවෙනට ආවේ ?

ඒ කාලේ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ වුණේ යක්කඩුවේ ප්‍රඥරාම නායක හාමුදුරුවෝ .උන්වහන්සේ තමයි මේ පිරිවෙනේ බොහෝ ගොඩනැගිලි ඉදිකළේ.ඉතින් මේ ගොඩනැගිලි හදන්න විවිධ පළාත්වලට ගිහින් උන් වහන්සේ අවශ්‍ය ලී ආදිය ගේනවා.


අපේ ගමේ පන්සලෙනුත් මේ විදියට කොස්ගස් කිපයක් අරන් යන්න යක්කඩුවේ නායක හාමුදුරුවෝ වැඩියා.මම එදා අපේ අම්මා එක්ක විහාරයේ චෛත්‍යයට මල් පුජාකරමින් හිටියේ.එදා මාව දැකල ,උන් වහන්සේ අර ළමයා මහණ කරන්න ඉල්ලලා දෙන්න කියලා අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියලා තිබුණා.

අපේ ලොකු හාමුදුරුවෝ ඒකට කැමැති වෙලා නැහැ.ඒ ළමයා සපුවලාන පන්සලේ මහණ කරන්න බාරදෙන්නයි ඉන්නේ කියලා නායක හාමුදුරුවන්ට කියලා.

එදා යක්කඩුවේ නායක හාමුදුරුවෝ ආපහු වැඩියාට පස්සේ මාව මහණ කරන්න ඉල්ලලා දෙන්න කියලා පන්සලේ ලොකු හාමුදුරුවන්ට කිපවරක්ම ලියුම් එවලා තිබුණා.යක්කඩුවේ හාමුදුරුවෝ යමෙක් යම් දෙයකට අකමැතිනම් නැවත ආපහු ඒ ගැන අහන්නේ නැහැ.නමුත් මාව ඉල්ලලා කිපවරක්ම ලියුම් එවලා තිබුණා.


අපේ අම්මාගේ ගම නාරම්මල මීවැව.මේ ගමේ හිටියා අභිධර්ම විශාරද⁣යෙක්. රාජකරුණා ගුරුතුමා කියලා.එතුමා හරහාත් යක්කඩුවේ හාමුදුරුවෝ පණිවිඩ එවලා තිබුණා අපේ පන්සලට මාව ඉල්ලලා. කොහොම හරි මම පිරිවෙනට ආවා. එතකොට මට වයස අවුරුදු 12 යි.

පිරිවෙනට ආවට පස්සේ ගෙදර යන්න හිතුනාද ?

පිරිවෙනේ නිවාඩු කාලෙට කොහොමත් ගෙදර යනවා.හැබැයි මෙහෙම සිද්ධියක් වුණා.මේ කිට්ටුව තියෙන වනවාසල පුරාණ විහාරයේ මල් වෙඩි සංදර්ශනයක් තිබුණා.මම එතකොට පැවිදි වෙලා නැ.පිරිවෙනේ හිටපු කාක්කපල්ලියේ අනුරුද්ධ හාමුදුරුවෝයි, වැලමිටියාවේ ධම්මරක්ඛිත හාමදුරුාවා්යි එතකොට තරුණ හාමුදුරුවරු.මේ දෙන්නම එක්ක අර මල්වෙඩි සංදර්ශනය බලන්න ගියා.අපි පිට යනවානම් පිරිවෙනේ ගල්ගමුවේ පඤ්ඤාරතන හාමුදුරුවන්ට කියලයි යන්නේ.එදත් ගියේ එහෙමයි.කොහොම හරි මල්.වෙඩි සංදර්ශනය ඉවර වෙනකොට පාන්දර 4ත් පහුවෙලා.රෑ 11ට එනවා කියලනේ ගියේ.


යක්කඩුවේ නායක හාමුදුරුවන්ගෙන් බැණුම් අහන්න වෙයි කියලා මට බය හිතුනා.මම පිරිවෙනට ඇවිත් නායක හාමුදුරුවෝ වැඩහිටිය කාමරයේ යතුරු හිලෙන් බැලුවා.ඒ වෙලාවේ නායක හාමුදුරුවෝ කවිච්චියේ ඉඳගෙන දැහැත්විටක් කොටනවා.මටත් දැන් නිදිමතයි.ආවාසේ ඇතුළට යන්න බැරි නිසා මම ධාතු මන්දිරයේ ජනෙලයෙන් ඇතුළු වෙලා නිදාගත්තා.


යක්කඩුවේ හාමුදුරුවෝ රෑට සැතපෙන්නේ නැ.උන් වහන්සේ සැතපෙන්නේ පාන්දර 5 ඉඳලා උදේ උදේ 11 වෙනකල් විතරයි.

පහුවදා නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා උඹ ඊයේ කොහේද හිටියේ කියලා.මම කිව්වා ධාතු මන්දිරේ කියලා.එහෙමනම් එහෙටම පලයන් කිව්වා .උන් වහන්සේ වචනයක් කිව්වොත් වෙනස් කරන්නේ නැ.ඒක හරියට මුද්දරයක් උඩ අත්සනක් ගැහැව්වා වගෙයි.

ඊට පස්සේ?

පිරිවෙනේ හාමුදුරුවරු කිව්වා ගිහින් සමාව ගන්න කියලා.අනේ මට ඔිවා තේරෙන්නේ නැහැ. මට හිතුනා හැමදාම ධාතු මන්දිරයේ ඉන්නවට වඩා ගෙදර යන එක හොදයි කියලා .පහුවදා මගේ ඇදුම් ටිකත් ට්‍රංක පෙට්ටියේ දාගෙන පාන්දර 2.ට විතර නායක හාමුදුරුවන් ගේ කුටියට ගියා .නායක හාමුදුරුවෝ මොනවද ලියමින් හිටියේ.උන් වහන්සේ මොකද කියලා ඇහව්වා.මම කිව්වා ගෙදර යනවා මට ටිකක් සනිප නැහැ කියලා.හොඳයි යන්න කිව්වා.බස් එකට කීයක් යනවද ඇහැව්වා .කැලනියේ ඉඳලා පිටකොටුවට ශත දහයයි.පිටකොටුවේ ඉඳලා නාරම්මලට රුපියල් එකයි ශත පනහයි.පස්සේ තව ශත පහකුත් වැඩිපුර දිලා කිව්වා මගදි තේ බීපං කියලා.

එතකොට මහණවීම පැත්තක දාලා ඔබ වහන්සේ ගෙදර ගියා?

ඔව් .මම ගමේ ගිහින් යාළුවෝ එක්ක සෙල්ලම් කළා.ගමට ඇවිත් මාසයක් විතර වුණා.එදත් මම ගමේ කොල්ලෝ එක්ක වෙලේ සෙල්ලම් කරමින් හිටියේ.ඒ වෙලාවේ වාහනයක සද්දයක් ආවා.බැලුවාම පිරිවෙනේ Z- 1740 අංක ඔස්ටින් කාර් එක.යක්කඩුවේ හාමුදුරුවෝ වඩිනවා.නායක හාමුදුරුවෝ වාහනයෙන් බහිනකොටම මම පන්සලට ගියා.මම මේ ගෝලයෝ බලන්න ආවා කියලා යක්කඩුවේ හාමුදුරුවෝ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කිව්වා.මාව දැකල නායක හාමුදුරුවෝ කිව්වා උඹ එහෙනම් සනිප වෙලා උණුවතුර නාලා පිරිවෙනට වරෙන් කියලා.

මේයකාට වෙදකම් කරලා වැඩක් නැහැ .කොච්චරවත් බයිසිකලේ එහාට මෙහෙට යනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා. මේක වුණේ 1951 දි.

එතකොට මහණ වුණේ ?

මම මහණ වුණේ 1954 ජනවාරි 7 වෙනිදා.එදා මහණ කරන්න කලින් නායක හාමුදුරුවෝ කිව්වා ඒ ගැන ගෙදරට කියලා එන්න කියලා. මම ගෙදර ගියාම අප්පච්චි කිව්වා උඹට මහණ වෙන්න බැහැ කියලා. මොන හේතුවකට කිව්වද මන්දා.මම කිව්වා මහණ වෙන්න දෙන්නේ නැත්නම් හිස හැරුණු අතේ යනවා කියලා.පිරිවෙනේ හිටපු අවුරුදු කිපයටම මට ගෙදරින් වියදම් කළේ සත පහයි.මට සියළු වියදම් කළේ නායක හාමුදුරුවෝ .පස්සේ අම්මා කිව්වා පුතේ එහෙනම් උඹ මහණ වෙයන් කියලා.


එදා මා එක්ක දස දෙනෙක් පැවිදි කළා
දස පැවිදි පින්කමක්, දස මඟුල් බණක්හා ගෙවදිමේ උළෙලක් කියලා එදා අපුරු දැන්විමකුත් ගහලා තිබුණා. එදා මහණ කරපු දහදෙනාගේම නමට ධම්ම කියලා දැම්මා .කුසලධම්ම, අභයධම්ම, අතුලධම්ම, පවරධම්ම, මධුරධම්ම, සුගතධම්ම, රතනධම්ම, මුදිතධම්ම, උදයධම්ම, විජිතධම්ම ඒ දසනමයි.

එතකොට යක්කඩුවේ නායක හාමුදුරුවෝ ද ගුරු හාමුදුරුවෝ ?

නැහැ .මාව හැදුවේ වැඩුවේ යක්කඩුවේ හාමුදුරුවෝ තමයි.ඒත් පැවිදි ගුරුවරයා වුණේ විද්‍යාලංකාර පරිවේනාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥසාර නායක හාමුදුරුවෝයි. හැබැයි මහණ පින්කමට අප්පච්චි ආවේ නැහැ.


ගිහි කාලේ මගේ කොණ්ඩය හරිම ලස්සනයි. එතකොට මට වයස අවුරුදු 16යිනේ. පිරිවෙනේ හිටියා චීන හාමුදුරුවෝ නමක්. උන්වහන්සේ කිව්වා ඔය ලස්සන කොණ්ඩය කපන්න කලින් ෆොටෝ එකක් ගන්න කියලා. එදා ගත්ත පින්තූරය තවම මං ළග තියෙනවා.

අධ්‍යාපන කටයුතු?

පිරිවෙනේ අධ්‍යාපනයෙන් පස්සේ විද්‍යාලංකාර විශ්ව විද්‍යලයෙන් උපාධියත් ගත්තා.ඊට පස්සේ නායක හාමුදුරුවෝ අහැව්වා විශ්ව විද්‍යාලයේ වැඩකරනවාද පිරිවෙනේ වැඩකරනවාද කියලා.මම පිරිවෙනේ වැඩකරන්න කැමැති වුණා.පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරයට මාව පත්කළා.පන්නිපිටියේ හිටියට හැමදාම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට රාත්‍රියට එනවා. ඒ ඇවිත් රෑ 11 වෙකල් නායක හාමුදුරුවෝ එක්ක කතාකර කර ඉඳල ආපහු පන්නිපිටි යනවා.මට මහ රෑ වෙනකල් ඇහැරගෙන ඉන්න පුළුවන්.

නායක හාමුදුරුවෝ විශාල අනතුරකට මුහුණ දුන්නා ?

ඔව් ඒ 1991 දි.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටුවන්න සුදානම් වුණු වෙලාවේ සාමණේර ආයතනය පිහිටුවිම සදහා අවශ්‍ය කරුණු විමසිමට මමයි මාපලගම සෝමිස්සර හාමුදුරුවෝයි අමාත්‍යාංශයේ අති⁣රේක ලේකම්වරයෙකුයි අනුරාධපුර ගියා.එන ගමනේදි කාර් එක අධික වේගයෙන් ආවා.මම අනතුර වෙන්න විනාඩි පහකට කලින් තරුණ රියැදුරාට කිව්වා ළමයෝ මේ වාහනය වේගයෙන් යන්නේ තමුන්ගේ දක්ෂකමට නොවේ හදපු මනුස්සයාගේ දක්ෂකමට මටත් පිටිපස්සේ ඉඳලා ඇස්ලේටර් එකට කෝටුවක් තියලා කාර් එක වේගයෙන් අරන් යන්න පුළුවන් කියලා මම කිව්වා.රියැදුරු හිනාවේවි ගියා.විනාඩිපහයි ගියේ.කාර් එක දකුණට ඇදිලා ගිහින් කුඹුක් ගහක වැදුණා.වාහනය චප්ප වුණා.මාපලගම සෝමිස්සර හාමුදුරුවෝ , රියැදුරා,අතිරේක ලේකම් එතැනම මියගියා .මට සිහිය නැතිවුණා.


මිනිස්සු කැති පොරව මන්න අරන් ඇවිත් වාහනය කපලා මාව එළියට අරන් තලාව රෝහලට අරන් ගිහින් තිබුණා.මගේ ඇහැක් එළියට පැනලා.මුළු ඇඟේම ලේ.කවුරුවත් මාව අදුරගත්තේ නැහැ.මිනිස්සු හිතලා තියෙන්නේ මම බුරුම හාමුදුරුවෝ නමක් කියලයි.

ඊට පස්සේ නායක හාමුදුරුවනේ ?

කොහොම හරි රෝහලේදි එකපාරටම මට සිහිය ඇවිල්ලා.දැන් මිනිස්සු මාව වටකර⁣ගෙන ඉන්නවා.මම විද්‍යාලංකාර පිරිවෙනේ කුසලධම්ම හාමුදුරුවෝ .මේ අකංවලට මේ අනතුර කියන්න කියලා මගේ ගෝලයෙක්වුණු තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිගෙයි ගම්පහ මහ දිසාපතිගෙයි, මගේ කාමරයේ අංකයයි කියලා තිබුණ.ඒ අංක ටික කියලා ඉවරවුණා විතරයි මට ආපහු සිහිය නැතිවෙලා.ආපහු සිහිය ආවේ සති දෙකකින්.

කොහොම හරි එතැන ඉන්න අය පිරිවෙනට පණිවිඩේ දිලා තිබුණා.තුඹුල්ලේ හාමුදුරුවෝ තලාවේ යනකොට අඹන්පොල වත්තේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉන්නවා දැකලා තියෙනවා.උන් වහන්සේ ආරක්ෂක අංශයට කියලා ප්‍රේමදාස උන්නැහැට ටෙලිෆෝන් කරවලා අනතුර ගැන කියලා තිබුණා. ඔහු වහාම උපදෙස් දිලා තිබුණා මාව ගුවනින් කොළඹට ගේන්න කියලා. මගේ කකුලට දැන් යකඩ පතුරු හා ඇණ 12ක් දාලා තියෙන්නේ.දකුණු අතෙ ඇඟිල්ලක් නැහැ. තවම වම් අතේ ඇගිලි නමන්න බැහැ. ඔළුව පැලිලා තිබුණේ.එදා පෙු්මදාස උන්නැහේ වහාම පියවරක් නොගත්තානම් මම තලා⁣ව රෝහලේම අපවත්වෙන්නත් ඉඩතිබුණා.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

(ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා විසින් ලියු සාහිත පොත් පියස ප්‍රකාශයට පත්කළ ගුරු පාරෙන් බෝමළුවට කෘතියට කළ. සාකච්ජාවක කොටසකි)

Related posts

නාගාසනයේ වැජඹුණු වානරයන්ගේ රහත් කෝලම – මහාචාර්ය කපිල අභයවංශ

Helarata

මට හත් අට වතාවක් සිවුරු හැරයන්න හිතුනා – ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

Helarata

සසුන වනසන හිමිවරු නෙරපීමට රාමඤ්ඤ නිකායෙන් තීරණයක්…

Helarata

Leave a Comment

Translate »