පින්කෙත

නාගාසනයේ වැජඹුණු වානරයන්ගේ රහත් කෝලම – මහාචාර්ය කපිල අභයවංශ

ලලනාවක සේ දිස්වන අරිට්ටකි වෙන්ඩුලා සසුන වනසනවා

මහාචාර්ය කපිල අභයවංශ

ශී‍්‍ර ලාංකික බෞද්ධයන් විසින් අතිමහත් ගෞරවයෙන් පිළි ගන්නා ථෙරවාද සම්ප‍්‍රදායෙහි බුද්ධත්වයට දෙවැනිව වඩාත් පූජනීයත්වයට හා ගෞරව බහුමානයට පත්වූ පදවිය ලෙසින් පිළිගැනෙන්නේ අර්හ්‍යත්වය හෙවත් රහත් බවයි. ථෙරවාද බෞද්ධයන්ගේ ආගමික අභිලාෂය වන්නේ නිවන් දැකීමයි. නිවන් දැකිය හැකි මාර්ග තුනෙකි. ඒ සම්මා සම්බුද්ධත්වය පච්චෙක බුද්ධත්වය හා අරහන්ත බුද්ධත්වය යනුවෙන් සැළකෙයි. මෙයින් වැඩි දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අරහන්ත බුද්ධත්වයෙන් හෙවත් රහත් වීමෙන් නිවන් දැකීමයි. නිවන අත්පත් කර දෙන රහත් බව බුදුන් වහන්සේ කෙරෙහි ද පැවති පළමු වැනි බුද්ධ ගුණයයි. ඉතිපි සො භගවා අරහං යන්නෙන් එය පැහැදිළි වෙයි.

බුදුදහම අනුගමනය කිරීමෙන් පත්විය හැකි ඉහළ ම තත්වයක් වන රහත් බව හෑල්ලු කොට එය අවඥාවට ලක් කිරීමට යම් අයකු කි‍්‍රයා කරත් නම් එය සමස්ත බුද්ධ ධර්මය ම හෑල්ලුවට නින්දාවට අපහාසයට ලක් කිරීමකි. උන් හිටි අඩියේ පිපෙන හතු මෙන් අද ලංකාවෙහි තැනින් තැන රහතුන් යයි කියා ගන්නවුන් පහළ වී ඇති සැටියක් අසන්නට දකින්නට ලැබේ. අදාළ පිළිවෙත් පුරනු තබා සාමාන්‍ය ගිහියකුගේ ඉන්ද්‍රිය සංවරයවත් නොමැතිව මේ අයුරින් රහතුන් පහළ වන්නේ නම් බුදුදහමෙහි දැක්වෙන පිළිවෙත් වලින් පළක් නැත. ආර්ය ශ‍්‍රමණයන් (සෝතාපත්ති සකදාගාමි අනාගාමි හා අරිහත් යන* සතර දෙනා බුදුසසුන තුළ පමණක් ලැබිය හැකියයි බුදුන්වහන්සේ පවසා ඇත්තේ බෞද්ධ පිළිවෙත් වලින් පමණක් එසේ වියහැකි බැවිනි.

රහතුන් යයි පෙනී සිටිමින් මොවුන් රඟන නාඩගම් වලින් බලාපොරොත්තු වන්නේ කිමෙක්ද? එක් අතකින් බුදුදහමේ උසස්ම තත්වයක පවත්නා ගරුත්වය කෙළෙසා දැමීම තුළින් ඔවුන් අදහස් කරන්නේ බුදුදහම අන් ආගම් සමග සාමාන්‍යකරණයක් විය හැකිය. එවිට බුදුදහමේ විශෙෂත්වයක් නැත යන හැඟීම ජන මනස තුළ කි‍්‍රයාත්මක වනු ඇත. අනෙක් අතට අද රහත් බව වැඩි මුදලට විකිණෙන ජනපි‍්‍රය අලෙවි භාණ්ඩයක් බවට පත්වී ඇත. එමගින් සුඛොපභොගී ජීවිතයකට අවශ්‍ය යසඉසුරු ලඟා කර ගත හැකිය..

අද ලාංකික බුදුසසුන වෙනත් කිසිදු ථෙරවාද බෞද්ධ රටක දක්නට නොලැබෙන අන්දමින් කවර අයුරකින් හෝ භික්ෂුවක ලෙස පෙනී සිටින්නකුට තමන්ගේ හිතුමතයේ ඕනෑම විලම්බීතයක් කරමින් ජනතාව රැවටීමේ තෝතැන්නක් බවට පත් වී තිබේ. තල් අත්තකට බෙලි ගෙඩියක් වැටෙන සද්දයෙන් බියපත්වූ කෙට එළදෙනක පස්සේ දිවගිය අනෙක් තිරිසන් සතුන් මෙන් ජනතාව ද කිසිදු විචාරයකින් තොරව අලුතින් පහළ වන රහතුන් පස්සේ වැටෙමින් පුදපූජා ලාභ සත්කාර වැසි වස්වමින් ඔවුන් ඒ විලම්බීත වැඩවලට දිරිගන්වන බවක් ද දක්නට ලැබේ.

මෙසේ ලැබෙන යස ඉසුරු කෙරෙහි ලොබ බඳිමින් තව තවත් රහත්තු බිහි වෙති. අලුතින් අලුතින් බිහි වන චරහතුන් කලින් අයට වඩා තමන් ජනතාව අතර කැපී පෙනිය හැකි අලුත් විලාසිතාවක් ද රැගෙන පැමිණෙති.


තමා බුදු වූයේයැයි කියා ගත් රහතකුගෙන් ඇරඹුණු මෙම රහත් කෝලමට දැන් රහත් වෙස් බැඳ ගත්තෝ කිහිප දෙනෙක් ම එක් වී සිටිති. ඇතැම්හු රහතුන් වැඩි මග ඔස්සේ මල්පියලි මතින් වඩින්නෝය. ඇතැම්හු දඹදිව ලංකාවට ගෙන්වා ගෙන බුදුන්ට ලක්දිව උපත දුන්නෝය. තවත් සමහරු ධ්‍යාන වඩා බඩ විරේකයෙන් රහත් වූවෝය. අළුත්ම එකතුව සොඳුරු ලලනක සේ ඇස්බැම ද හැඩ ගන්වා ගෙන නාගාසනයක් අරා වැජඹෙමින් හින්දු පූජක වෙස් ගත්තවුන් ලවා වේද මන්ත‍්‍රවලින් ආශීර්වාද ලබන අරිට්ටකී වෙන්ඩුවෙකි.

මේ හැම වෙණ්ඩු දමන්නෙක් ම තමන්ගේ යූ ටියුබ් නාලිකා මගින් රහත් බව මනාව අලෙවි කරන්නෝය. ඒ අතරෙහි තමන්ගේ සෞභාග්‍යය විදහා පාමින් සාද පවත්වා උපන් දින කේක් කැපීම විඩියෝ මගින් ලොවට පෙන්වීමට තරම් හීනමානයෙන් පෙළෙන්නෝ ද වෙති. අල්පෙච්ඡතාව නියම රහත් ගුණයක් වුව ද එය ද නිගාවට ලක් කරන මොවුහු මහිච්ඡතාවෙන් පෙළෙති. අත් හැරීමේ අනුසස් පවසමින් රැස් කරති. බදා ගනිති. තමන් වගා කර ගත් නොයෙක් භොගයන්ගෙන් තනා ගත් රසමසවුළු රාශියකින් සපිරි රාජභොජනයක් සේ හැඩ ගැන්වූ කෑම මේසය විඩියෝ මගින් පෙන්වමින් අන් අය රසතෘෂ්ණාවට පොළඹවන්නෝ ද වෙති.


සම්ප‍්‍රදාය ගරුකරන ලජ්ජා බියෙන් යුත් භික්ෂූන් යල් පැනගිය අන්ධබාලයන් මෝඩයන් ලෙස සළකමින් පරවම්භනයෙහි යෙදෙන ඇතැම්හු අත්තුක්කංසනයෙහි පරතෙරට ගියෝය.

ඥානයෙන් දැනුමෙන් හා අවබෝධයෙන් තමන්ට වඩා ඉහළින් සිටින්නකු මුළු ලක්දිව් තලයෙහිම නැතැයි වහසි බස් දොඩන්නට තරම් මානයෙන් උඩඟු වූ මෙබඳු චීීවරධාරීන් අරභයා ශාසන සම්ප‍්‍රදායෙහි තක්සේරුව වන්නේ සිංහ හම පොරවා ගත් වඳුරන්ගේ තත්වයටය.


උද්ධතො චපලො භික්ඛූ – පංසුකූලෙන පාරුතො – කපීව සීහචම්මෙන – න දසො තෙනොපසොභති
(උඩඟු චපල භික්ෂුව පංශුකූල චීවරයක් පොරවා සිටිය ද සිංහ හම පොරවා ගත් වඳුරකු සේ නොබබළයි.*

බුදුසසුන වූ කලි ශාසන බ‍්‍රහ්මචර්යාවෙහි යෙදෙන සුපෙසල භික්ෂූන් සඳහා වන ආයතනයකි. එය ඕනෑම කෙනෙකුට හිතෙන හිතෙන අන්දමින් හිතුමතයේ බහුරූ කෝලම් දැක්විය හැකි රඟමඬලක් නොවේ. එහෙත් අද සසුන ඒ තත්වයට පත් වී ඇත්තේ සසුනෙහි වගකීම් දරන නායක කාරකාදීන්ගේ උදාසීන ආකල්පයන් නිසාය. සසුනට ඇතිවන කලංකයන් ඉවත් කිරීමට අදාළ කි‍්‍රයාමාර්ග බුදුන් වහන්සේ විසින් නිර්දෙශ කොට ඇත. එම නිර්දෙශයන් අනුව කි‍්‍රයා කිරීමට වගකිවයුතු භික්ෂූන් වහන්සේ බැඳී සිටිති. පැරණි භික්ෂූන් වහන්සේ එසේ කි‍්‍රයා කළ ආකාරය ගොපක මොග්ගල්ලාන සූත‍්‍රයේදී අනද හිමියන් විසින් පෙන්වා දී ඇත.

අසොක අධිරාජයාගේ සමයෙහි ඇති වූ ශාසන කලංකය හමුවේ මොග්ගලී පුත්ත තිස්ස හිමියන් කි‍්‍රයා කළ ආකාරය ද ආදර්ශයට ගත හැකිය. අද සසුන කාෂාවකණ්ඨකයන් දක්වා යන ගමන සීග‍්‍රගාමී වී ඇති බව මනාව පෙනෙන්නට ඇත. වහ වහා පිළියම් නොකළහොත් නියෙන් කඩා දැමියහැකි ගස පොරවෙන් ද කපා නොදැමිය හැකි තත්වයට පත්වනු නොවැළැක්විය හැකිය.

මෙබඳු තත්වයකදී ගිහී ජනතාවට ද තමන්ට වගකීමක් නැතැයි සිතා අත් පිසදා ගෙන ඇස් කන් වසා ගෙන සිය නොහැකිය පුණ්‍යක්ෂෙත‍්‍රය පාපක්ෂෙත‍්‍රයක් වනු බලා සිටීමත් ඒ තත්වයට අනුබල දීමත් බෞද්ධ ගිහියාට තරම් නොවේ. බෞද්ධ ගිහියා හා භික්ෂුව අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් පවතී. ගිහියා භික්ෂුවට සිවුපසයෙන් සළකන්නේ භික්ෂුවගේ බ‍්‍රහ්මචර්යාව පවත්වා ගැනීමට අනුග‍්‍රහයක් වශයෙනි. භික්ෂුව ඒ වෙනුවෙන් ගිහියා සුගතිගාමී මාර්ගයට යොමු කරවීමට බැඳී සිටියි. ශසනවිලෝපකයන්ට අනුග‍්‍රහ දැක්වීම සසුන වැනසීමේ කි‍්‍රයාවලට උඩගෙඩි දීමකි. එවිට ගිහියා ද සසුන වැනසීමට හවුල් කරුවෙක් වෙයි. එමතු ද නොවේ. ඔහු නොදැනීම දුගතිගාමියකු බවට පත් වෙයි.
පරණ කණට වඩා අළුත් අඟ හොඳ වන බොහෝ පිරිසක් සිටිති. ඔවුහු සසුනට අළුතින් එකතු වන කවර විලම්බීතයක් පස්සේ වුව ද ළුහුබැඳ යාමට රිස්සෝය. කවර අයුරකින් හෝ ධනය සොයාගෙන අළුතින් ධනපති පංතියට එක් වන අයත් එවැන්නන් පස්සේ වැටුණු අයත් විශෙෂයෙන් සසුනේ නව විලාසිතා වලට වහ වැටුනෝය. කන්තා පක්ෂය මෙහිලා විශෙෂිතය. දුප්පත් පන්සල් ගණනාවක් වුව ද පසු කොට ගෙන නව රහතුන් සොයා ගොස් ලක්ෂයෙන් බැඳි පියලි පුදන්නෝය.

මෙය බොහොවිට දුප්පත් පංසල්වල දුප්පතුන් සමග එක්ව පින් කිරීම තමන්ට තරම් නොවන්නෙකැයි යන හීනමානය නිසා සිදුවන්නකි.


රහතුන් වඩිනා මගට මල්පියලි ඉසීමට පමණක් නොව කෙස් කළඹ උනා රහතුන් වඩිනා මගට හෙළා රහතුන්ගේ පහස තම කෙස් කළඹට ලබා දීමට තරම් ශ‍්‍රද්ධාවෙන් පිනා ගිය උපාසිකා කාන්තාවෝ ද අප අතර සිටිති. එපමණක් නොව රහතුන්ගේ උපන්දින සාජ්ජයන්ට සහභාගී වීමේ පී‍්‍රතියෙන් උදම් වන උපාසිකාවෝ ද ඒ අතර වෙති. නව රහතුන් අත් විඳිනා මෙම ශී‍්‍ර විභූතීන් දක්නා විට ඒවාට ලොබ බැඳ ගත් අළුත් රහතුන් බිහි වීම පුදුමයක් නොවේ.

ලංකාවේ බුදුසසුන පිරිසුදු ථෙරවාදයෙහි කෙසේ වුව ද අඩුම තරමින් ථෙරවාදයට අනුලොමීව හෝ පවත්වා ගැනීමටත් බුදුදහම සාම්ප‍්‍රදායික ති‍්‍රපිටකාගත පරිද්දෙන් රැුක ගැනීමටත් අවශ්‍ය නම් මේ නව පන්නයේ රහත් උවදුර සසුනෙන් නෙරපා හැරීමට සිදු වෙයි. දැනටමත් අළුත් ති‍්‍රපිටකයක් ජනගත කිරීමේ වෑයමක යෙදෙන බවක් ද දැන ගන්නට ලැබේ. ශී‍්‍ර ලංකාව ථෙරවාදයේ කේන්ද්‍රස්ථානයය යන විරුදාවලිය ස්ථාවර කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයේ ම අවධානය එකසේ යොමුවිය යුතු කලය එළඹ තිබේ. රාජ්‍ය ව්‍යවස්ථාවෙන් සම්බුද්ධශාසනය පොෂණ්‍ය කිරීමට ප‍්‍රතිඥා දී ඇති රටක ශාසන විලෝපන තුරන් කිරීමට රජ්‍ය අනුග‍්‍රහය ගැනීමට ද උනන්දු වීමේ අවශ්‍යතාව ද තිබේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතිය පිළිබද අධ්‍යයන අංශාධිපති හා තායිලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති

මහාචාර්ය කපිල අභයවංශ

මහාචාර්ය කපිල අභයවංශ

Related posts

ඇසළ පෝදා සංඝරාජ හිමි සිහිකරන්න…

Helarata

මට හත් අට වතාවක් සිවුරු හැරයන්න හිතුනා – ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

Helarata

සසුන වනසන හිමිවරු නෙරපීමට රාමඤ්ඤ නිකායෙන් තීරණයක්…

Helarata

2 comments

Jayasiri Perera May 20, 2020 at 8:19 am

ඉතාමත් වැදගත් කරුණු දක්වීමක් ගුරුතුමනි,අවාසනාවකට සසුන නැසෙන තෙක්ම මේ බිහිරි අලි නෑසු කන් ඇතිව සිටිනු ඇත. මහා නායකවරු පාලකයන්ට පිරිත් නුලක් බදිමින් ඉතා අල්පේච්ජ් ජිවිත ගත කරමින් සිටිති.

Reply
Dr. Ven. Mawatagama Pemananda June 16, 2020 at 8:35 pm

Nuutanayee sirilak budusasna behevin arbudayakata lak va eti avasthaavaka ee gena gihi pevidi depiriseema maha viyatun goluvata rakimin pasuvan velaavaka apee sonduru eduruvara Kapila Abevansa mahaacaaryatumaa mee kala shaastriiya satkaara atishayin pasasannee etumaata niduk niroogii suva sahanaya samaga digaasiri patamini. Theruvan Saranayi!

Reply

Leave a Comment

Translate »