හෙළරට විශේෂාංග

හිස් චරිත මතුවීම හා පඬිවරුන්ගේ නික්මයෑම (යුගයක අවසානය)….

තෙවලා දහම ගැඹුරින් අටුවා ටීකා ඇසුරින් හදාරා ඇති ,පාලි සංස්කෘත ඉංග්‍රීසි දෙමළ ප්‍රාකෘත ආදි භාෂා ශාස්ත්‍රාදියෙහි කුශාග්‍ර බුද්ධිමතෙකු වු රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ ප්‍රඥාවංශ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේ ගේ අපවත්වීම සසුනටත් සාහිත්‍ය ලෝකයටත් සිදුවු ඉමහත් පාඩුවකි.

අපේ අනුනායක මාහිමිපාණන් ගේ ඇසුර මාහට ලැබුණේ උන් වහන්සේගේ ධර්මාන්තේවාසි ශිෂ්‍යවරයෙකු වන ප්‍රකට ලේඛක ත්‍රිපිටක ධර්ම විශාරද බලංගොඩ ජිනරතන නාහිමිපාණන් වහන්සේ නිසාය.ඒ දැනට වසර විස්සකට පමණ පෙරදීය.ඊට උන් වහන්සේ ගැනත් උන් වහන්සේ ලියු පොත්පත් මෙන්ම පුවත්පත්වලට ලියන ලිපි කියවා ඇති මාහට මෙම කුශාග්‍ර පඬිවරයාණන් වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කිරිමට ලැබිමත් ධර්ම ශාස්ත්‍රීය කාරණා ගැන උන් වහන්සේගෙන් නිරන්තර උපදෙස් ලබාගැනිමට ලැබිමත් ජනමාධ්‍යවේදියෙකු ලෙස මා ලද භාග්‍යයක් කොට සලකමි.

එසේම භාෂාව පිළිබඳවත්, ධර්ම කාරණා ගැනත් ගැටලු හා පැහැදිලි කිරිම් අවශ්‍යවිට ඒ සියල්ල විසඳාගැනිමට මාහට උන් වහන්සේ දුන් සහය අපමණය.ඔිනෑම මොහොතක එවන් කාරණා විමසිමේදි ඉතා උනන්දුවෙන් ඒ කාරණා පැහැදිලි කිරිමට අනුනායක මාහිමිපාණන් වහන්සේ ඉදිරිපත්වුහ.එසේම අප ලක්බිම පුවත්පතට උන් වහන්සේ ලියු සාරගර්භ ලිපි පුවත්පතේ ජනප්‍රියත්වයටද හේතුවක්ම විය.(පුවත්පත බලංගොඩ ජනතාව අතර ජනප්‍රිය කරවිමටද නාහිමියෝ ක්‍රියාකළහ)

පරත්ථ පටිපජ්ජථ යන බුදුවදන තම දිවිමඟ කරගත් උන් වහන්සේ වියතුන් සභා මැද කෙසරිඳු සේද සඟ ගණ මැද ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ සීලවෘද්ධ ව්‍යක්ත විශාරද බහුශ්‍රැත ධර්ම විනයධර සියලු සඟ ගුණවන්ගෙන් උපලංකෘත වු මහ තෙරනමක් සේද ,තම දැන උගත්කම් හුවාදක්වමින් වාගාඩම්බරපාන කදෝ කිමියන් අතර නිහඬ,අව්‍යාජ,සරල,නිරහංකාර,දිවියක් ගතකළ යුග පුරුෂයෙකු සේද,නිහතමානි පඬිරුවනක සේද ප්‍රසාදයට පත්ව වැඩසිටියහ.

මෙවන් උතුමන් ,පඬිවරයන් වහන්සේලාගේ වටිනාකම අප අද තව තවත් දැනෙන්නේ ශාසනය නොතකා හැසිරෙන ශ්‍රමණ ප්‍රතිරූපකයන් දකිනවිටය. ප්‍රඥාවංශ අනුනාහිමියන් එක් යුගයක් නියෝජනය කළ විශාල චරිතයකි.

විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසල දැනුමකින් මෙන්ම සමය සමයාන්තර දර්ශන පිළිබඳව මනා අවබෝධයකින් හෙබිව සිටි අනුනාහිමියෝ විදෙස් සමුළුවලදි ඉංග්‍රීසි භාෂාවෙන් කළ දේශන බෝහෝ විදෙස් උගතුන්ගේ ප්‍රශංසාවට ලක්වුහ.

ජනමාධ්‍යයෙන් වරක් පෙනිසිට බුදුබණ යැයි තමන්ගේ හිතළු කියා විසුළු සපයා ජනප්‍රිය යැයි සිතාගෙන හැසිරෙන මෝඝ පුරුෂයන් බහුල වත්මන් සමාජය තුළ බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියන් වැනි කුශාග්‍ර පඬිවරයන් වහන්සේලාගේ නිහතමානිකම ,සරල දිවිපෙවෙත දෙස බලනවිට උන් වහන්සේලා නියම බුදු පුතුන් ලෙස සදාකල්හි ගෞරවයට පාත්‍රවන්නේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ සංස්කරණ මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම විශ්ව විද්‍යාල කිපයකම පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරු අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේ ගේ පාණ්ඩිත්‍යව මැන බැලිය හැකි මිම්මක් වත්මනේ නැතැයි සිතේ.අද සිටින බොහෝ උගතුන් මුල් යුගයේදි තම ධර්මඥානය වැඩිදියුණු කරගත්තේ මුන් වහන්සේගේ ග්‍රන්ථ හා ලිපි කියවිමෙන් බව ද සදහන් කළ යුතුය.
ධර්ම කාරණා තබා ධර්මයේ සුළඟවත් නොලැබු බුදුවරුන්යැයි ,රහතුන් යැයි තමන්ම හදුන්වා ගනිමින් බහුරූ කෝලම් රඟන හිස් භික්ෂු ප්‍රතිරූපකයන් මතුවි සසුන භක්ෂණය කිරිමට මාන බලන මෙවන් යුගයක අපේ බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියන් වැනි මහ වියතුන්ගේ අපවත්විමෙන් සසුනේ ඇතිවන පුරප්පාඩු කෙදිනකවත් පිරිවිය නොහැකිය.

2006 වසරේ පෙබරවාරි මස 26 වන දින අස්ගිරි මහ විහාරයේ උපෝෂතාගාරයේ දි මා වෙත “කලා මාධ්‍ය කීර්ති ශ්‍රි ධර්මවිභූෂණ ” යන ගෞරව සම්මානය පිරිනැමිමේ උත්සවය අතිපූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.එම අවස්ථාවට ඒ වනවිට ලංකාවේ වැඩසිටි ප්‍රබලම මහානාහිමිවරුන් අනුනාහිමිවරුන හා නායක හිමිවරුන් රැසක්ම සහභාගිවුහ.අපේ බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියන්ට ගමන් මහන්සිය ඇතිවේයැයි සිතු නිසා මම උන් වහන්සේට විශේෂ ඇරයුමක් නො⁣කළෙමි.එහෙත් එදා අස්ගිරි උපෝෂතාගාරයට වැඩි මහ සඟරුවන අතර අපේ අනුනාහිමියන්ද වැඩ සිටිම මට මහත් සතුටක් ගෙන දෙන්නක්විය.
එදා එම සභාවේදි අනුනාහිමියන් මා වෙනුවෙන් කළ අනුශාසනයට ජනමාධ්‍යයෙන්ද වැඩි ඉඩක් ලැබිණ.එය උන් වහන්සේට ගෞරවයක් වශයෙන් හා මාහට දුන් ශක්තියට කෘතගුණ සැලකිමක් ලෙස සදහන් කරමින් මෙම සටහන අවසන් කරමි.

” සංඝයා වහන්සේලාගෙන් ගිහි පාර්ශවයට සම්මාන ලබාදිමක් අතීතයේ සිටම පැවතුණා.”ගෝමී” යන වදන සාහිත්‍යකරණයේ නියැළුණු චන්ද්‍රගෝමී ,ගුරුළුගෝමී යන පඬිවරුන්ට ප්‍රදානය කර ඇත්තේ ඔවුන් කරනලද සේවය ඇගයීමට ලක්කිරිම සදහායි.බුදුරජාණන් වහන්සේ ද සිව්වනක් පිරිසට සම්මාන පිරිනැමු බව සදහන් වෙනවා.

මෙරට ජාතිය ආගම රැක ගැනිමේ වගකිමක් සහිත මාධ්‍යවෙිදියෙකු වන ධර්ම ශ්‍රි තිලකවර්ධනයන්ටද අස්ගිරියෙන් සම්මානය පිරිනැමුණේ ඔහු කරනලද සේවය ඇගයීම සදහාය.ඔහු මේ රටේ වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනකවු කළුකොඳයාවේ ශ්‍රි ප්‍රඥශේඛර මහානායක මාහිමිපාණන් වහන්සේ වැනි මහ පඬිවරයන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත් මාධ්‍යවෙිදියෙක්.එදා ශාසනයට විශාල ගැටලු එල්ලවු අවස්ථාවලදි චන්ද්‍රරත්න මානවසිංහයන් මාධ්‍යවේදියෙකු ලෙස සසුන බේරාගන්න කටයුතු කළා.ධර්ම ශ්‍රි ද ඒ මඟ යමින් අද ශාසනයේ උන්නතියට හා එහි ආරක්ෂාවට කැපවි සිටිනවා”

එදා බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියන් අස්ගිරි මහා විහාරයේදි මා වෙත දුන් එම සහතිකය අස්ගිරියෙන් දුන් සම්මානය මෙන් මාහට ශක්තියක් ආශිර්වාදයක්ම වු බව කෘතවෙිදිව සිහිපත් කරමි.

  • ධර්ම ශ්‍රි තිලකවර්ධන
    ලක්බිම හිටපු ප්‍රධාන උප කර්තෘ

Related posts

දළදා වහන්සේ රැකගත් මහනුවර රාජ පරපුර ….

Helarata

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

ශ්‍රි ලංකා ඉතාලි කොරෝනා මිත්‍රත්ව අක්කිලාගේ සංගමයක්

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!