පින්කෙත

මම පාඩම්කළේ විහාරයේ බාගෙට දැල්වුණු ඉටිපන්දම් කොට පත්තුකරගෙන -ප්‍රකට යතිවර අප්‍රකට කතා – 8

ප්‍රකට යතිවර අප්‍රකට කතා – 8

මම ගිහි කාලේ දුවන්නයි පිහිනන්නයි දක්ෂයි.ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි
අත්තනගල්ල රජමහා විහාරාධිපති

පන්නිල ගම පිහිටියේ?

ගම්පහ අත්තනගල්ල කිට්ටුව පිහිටි සරුසාර ගමක් පන්නිල කියන්නේ.ගහකොළ, අත්තනගලු ඔය ගමේ සුන්දර කම වැඩිකළා.හරිම සන්සුන් ගමක්.

මූලික අධ්‍යාපනය ලැබුවේ?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ කඹුරාගල්ල විද්‍යාලයෙන් (වත්මන් පන්නිල ආනන්ද නාහිමි මහ විදුහල) .මම මේ පාසලේ පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා.

පවුලේ විස්තර?

මගේ තාත්තා ඩබ්ලිව්.ඒ වික්‍රමාරච්චි ,අම්මා ලොකු හාමිනේ සමරනායක.මගේ පවුලේ අයියලා හතරෙ දෙනයි.අක්කයි නංගියි.

පාසල් යන කාලයේ ඔබ වහන්සේ දස්කම් දැක්වුයේ මොනවටද?

මම ඉගෙනිම ඉතා හොඳින් කළා.මම දුවන්න දක්ෂයි.මට ඒ කාලේ වේගයෙන් දුවන්න පුළුවන්.ඒ වගේම තමයි ⁣මට හොඳට පීනන්නත් පුළුවන්.පොඩි කාලේ අත්තනගලු ඔයේ මම හොඳ පීනුම් ශූරයෙක්.

පැවිදි වෙන්න අදහසක් ආවේ කොහොමද?

මම හැම පෝයට ආච්චි අම්මා එක්ක පන්සලේ සිල් ගන්නවා.මම දහම් පාසල් ගියෙත් අත්තනගල්ල විහාරයේ සංඝබෝධි දහම් පාසලට.මේ නිසා පන්සල මට හුරුතැනක් වුණා.පන්සලට ආවම පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක මිත්‍රවුණා.

ඔහොම ඉන්නකොට අපේ ආච්චි අපේ අම්මාට කිව්වා දැන් කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්න හින්දා එක ළමයෙක් මහණ කරමු කියලා .එතකොට අම්මලා තීරණය කළා මගේ අයියව මහණ කරන්න.මම කිව්වා නැහැ නැහැ මමයි මහණ වෙන්නේ කියලා.ඉතින් මම මහණ වෙන්න බලෙන් වගේ ඉදිරිපත්වුණා.

ඊට පස්සේ ?

ගෙදරින් ඇවිත් අත්තනගල්ලේ නායක හාමුදුරුවන්ට මේ ගැන කිව්වා.ඒ වෙනකොට දහම් පාසලේ මගේ ඇවතුම් පැවතුම් ගැන නායක හාමුදුරුවෝ දැනගෙන හිටියා.උන් වහන්සේ කිව්වා එකපාරටම බැහැ අවුරුද්දක් විතර පන්සලේ ඉන්න වෙනවා කියලා.මම ඉතින් ඊට පහුවදා ඉඳලම පන්සලේ ඇබිත්තකම් කළා.මහණ වෙන්න පෙරම මම හොදට පිරිත් ගාථා කියන්න පුරුදු.වුණා.නායක හාමුදුරුවෝ එක්ක පුදුන් වඳින කොට ඒ සියළු ගාථා මටපාඩම් හිටියා.

අද වගේ ඒ යුගයේ පහසුකම් නැතිව ඇතිනේ?

ඒ කාලයේ අද වගේ කිසිම පහසුකමක් නැහැනේ.භූමිතෙල් ලාම්පු එළියෙන් තමයි මම පාඩම් කළේ.විහාරයේ පත්තුකරලා ඉතිරිවුණු ඉටිපන්දම් කොට එකතුකරලා පත්තුකරගෙන මම පාඩම් වැඩ කළා.කකුළට සෙරෙප්පු කුට්ටමක්වත් නැතිවයි අපි ගමන් බිමන් ගියේ.පන්සලට ළිඳෙන් වතුර ඇදගෙන තමයි වැඩකරන්නේ.

පැවිදි ගුරුවරු ?

අත්තනගල්ල රජමහා විහාරාධිපති වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම නාහිමි, විහාරයේ භාරකාර එල්ලක්කල ධම්මාරාම මාහිමි,

පිරිවෙන් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ?

බෝපැත්ත සිරි සඟබෝ පිරිවෙනින් හා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලැබුවා .දෙමටගොඩ පිරිවෙනේ ඉන්නකොට අපි කට්ටිය කතාවෙලා අවුරුද්දකින් උසස්පෙළ ලිව්වා.මම විශ්ව විද්‍යාල වරම් ලබනකොට අවුරුදු 18යි.කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට මම ගියේ.ඒ කාලේ කිරිවත්තුඩුවේ ප්‍රඥසාර නායක හාමුදුරුවෝ කුලපති.

ඉන් පස්සේ ?

විශ්ව විද්‍යාලයෙන් පස්සේ මම බෝපැත්ත පිරිවෙනේ ඉගැන්නුවා.මේ කාලේ ජපන් රජය හා අපේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මට ජපානයට යන්න ශිෂ්‍යත්වයක් දුන්නා.මම ජපානයේ විශ්ව විද්‍යල දෙකක ඉගෙන ගත්තා.

ජපානේ අධ්‍යාපනයෙන් පස්සේ මට කැනඩාවට යන්න අවස්ථාව ලැබුණත් මම ගියේ නැහැ.මගේ කැමැත්ත තිබුණේ ඇමෙරිකාවට යන්න.එ කාලේ පිටරට යන්න වරම් ලැබුනේ ධනවත් අයට.මෙහෙන් සල්ලි ගෙනියන්නත් බැහැ.විශේෂයෙන් පිටරට යනවානම් එහෙන් එවන ටිකක් එකකින් තමයි යන්න වෙන්නේ.කොහොම හරි මමයි ආචාර්ය වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝයි ඇමෙරිකාවට ගිහින් බොහෝම දුෂ්කරතා මැද වැඩකළා.

ගොඩක් ගැටලුවලට ඔබ වහන්සේලා මුහුණ දුන්නා?

අපි ඇමෙරිකාවට ගියාම හරියට ප්‍රශ්න ආවා.ඒ කාලෙ හරි ක්‍රිෂ්ණා ව්‍යාප්තියක් තිබුණා.අපි සිවුරු දරාගෙන ඉන්න නිසා ඇමෙරිකාවේ අය හිතුවේ අපිත් හරි ක්‍රිෂ්ණාගේ කට්ටිය කියලයි.ඒ හින්දා අපිට හරියට හිරිහැර කළා.දවසක් මමයි වල්පොල හාමුදුරුවෝයි පාරේ යනකොට බීලා ඉවර වුණු බියර් බෝතල්වලින් අපිට පහරදුන්නා.විශාල සාප්පුවලට පවා අපිට ඇතුළු වන්න ඉඩ දුන්නේ නැහැ.පයින්ම තමයි අපි ගමන් ගියේ.

ඒ වගේම දරුණු ආකාරයට අපේ පන්සල් කඩා දැම්මා.කාමරයක පොඩි ඇඳක් තියාගෙන ඒ කාමරයේම උයා පිහාගෙන අපි වැළදුවේ.ඒ කාලේ යුරෝපයේම තිබුණේ ලන්ඩන් බෞද්ධ විහාරයයි,ජර්මනියේ බර්ලින් විහාරයයි විතරයි.ඇමෙරිකාවේ තිබුණේ වොෂිංටන් විහාරය විතරයි.මමයි වල්පොල පියනන්ද හාමුදුරුවෝයි දුක්විඳිමින් ධර්මවිජය විහාරය ඇතුළු විහාර බිහිකළා.තරුණ හිමිවරුන් හැටියට අපි එදා කරපු දේවල ප්‍රතිඵල අද ලැබි තිබෙනවා.දැන් ඇමෙරිකාවේ පන්සල් 48ක්පමණ තිබෙනවා.

ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි
අත්තනගල්ල රජමහා විහාරාධිපති

ඔබ වහන්සේ තායිවානයටත් සම්බන්ධයි.

මගේ එක ගෝලයෙක් ඇමෙරිකන් අයට ඉංග්‍රීසි උගන්වනවා.තායිවානයේ පළමු ථෙරවාද පන්සල පටන් ගත්තෙත් මමයි.මගේ මේ විදේශ සම්බන්ධතා නිසා ලංකාවේ විශාල සමාජ මෙහෙවරක් කරන්න මට හැකිවුණා.සුනාමියෙන් නිවාස අහිමිවු අවට ගෙවල් 336ක් හදලා දුන්නා සුනාමියෙන් කැඩුණු පන්සල් හදලා දුන්නා. රෝහල් අංග සම්පුර්ණ කර දුන්නා.ගිලන් රථදුන්නා..පන්සල අවට දුප්පත් අයට නිවාස ඉදිකර දුන්නා.තව විශාල වැඩ කොටස් මේ සබඳතා නිසා කරන්න මට හැකිවුණා.

ඔබ වහන්සේ මේවනවිට පාසල් ගණනාවක් ඉදිරකර තිබෙනවා ?

ඒ කතාව මෙහෙමයි.අපේ පන්සලේ පෙරහරක් පටන් ගත්තා .මේ පෙරහරට එක රැයකට ලක්ෂ 5-6 කට වැඩිය වැයවුණා.මට හිතුනා මේක නිකම් මුදල් නාස්තියක් විතරයි කියලා.ඒ වෙනකොට මට ආරංචි වුණා මේ කිට්ටුව ස්කෝලෙක බිල්ඩිමක් කඩාවැටිලා ළමයි අමාරුවෙන් ඉගෙන ගන්නවා කියලා .මම ගිහින් බලලා ඒ වල්පොල මහ විදුහලට රුපියල් කෝටි දෙකක වියදමින් දෙමහල් ශාලාවක් ඉදිකර දුන්නා.පෙරහර එතැනින් නතරකර දැම්මා.ඉන් පස්සේ දිගටම පාසල් ගණනාවකට දෙමහල් තෙමහල් ගොඩනැගිලි මම හදා දුන්නා.


මේ කාර්යයයේදි මම ජාති ආගම් බේද බැලුවේ නැහැ.සියළුම දරුවෝ රටේ දරුවෝ යන හැඟිමෙන් මම වැඩකළේ.ඒ අනුව මුස්ලිම් හා කතෝලික පාසල්වලටත් මම ගොඩනැගිලි හදා දුන්නා.සිසුන්ට ශිෂ්‍යත්ව දෙනවා..ඒ විතරක් නොවේ ආදිවාසි නායකතුමාගේ ඉල්ලිම පරිදි දඹානටත් ගොඩනැගිල්ලක් හදලා දුන්නා.ඒ ආදිවාසි දරුවෝ ඉගෙන ගත්තේ ගස් යට.


මේවනවිට මම පාසල් වලට දෙමහල් තෙමහල් ගොඩනැගිලි 28ක් හදලා සිසුන්ගේ අයිතියට පවරලා දීලා තියෙනවා..මෑතකදි බුත්පිටිය හා පස්යාල පාසල් දෙකට හදාදුන් තෙමහල් ගොඩනැගිලි රටේ ඇතිවු කොරෝනා ⁣⁣වෛරසය නිසා සිසු අයිතියට දීමෙිදි ගැටලු ආවා.එසේම කොරෝනා අරමුදලටත් මම රුපියල් කෝටියක් ලබා දුන්නා.වතුපිටිවල රෝහල අද කිට්ටුව ඇති කිසිදු රෝහලක නැති පහසුකම්වලින් අංග සම්පුර්ණ කරන්න මට හැකිවුණා.

මේතරම් සමාජ සුබසාධන කිරිමෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නේ මොනවාද?

මම කාගෙන්වත් කුමන මොහොතකවත් ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ.පාසල් ටික හදන්නේ රටේ දරුවෝ ගුණ නැණ දෙකෙන්ම පෝෂණය කරන්නයි.මොකද අපි ඉගෙන ගත්තේ කිසිම පහසුකමක් තිබිලා නොවේ.අපි බොහෝම දුක්වින්දා.ඉතින් රටේ දරුවන්ට දුක් විඳින්නේ නැතිව ඉගෙන ගන්නයි මේ පහසුකම් සලසන්නේ.

දුප්පත් අයට උදව් කරන්නේ ඒ අය ඉන්න තැනින් නැගිට්ටවන්න.මම කොයි මොහොතකවත් මේ වැඩ ගැන ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.මගෙන් උපකාර ලබන අයගේ හිතේ ඇතිවන සතුට තමයි ඔවුන් මට දක්වන ප්‍රතිඋපකාරය.ඒ සැනසීම මට ඇත්තටම සතුටක්.

(අත්තනගල්ල රජමහා විහාරය ඇමෙරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරය යන විහාරයන් හි අධිපති , සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි සමඟ ධර්ම ශ්‍රි තිලකවර්ධන ,මහතා ලියු ගුරුපාරෙන් බෝමළුවට -2 කෘතියට කළ සාකච්ජාවක කොටසකි මේ.)

Related posts

නාගාසනයේ වැජඹුණු වානරයන්ගේ රහත් කෝලම – මහාචාර්ය කපිල අභයවංශ

Helarata

වාහනයේ හිරවෙලා ඉන්නකොට මට හිතුනේ එදා අපවත්වෙයි කියලා..

Helarata

මම මහණවෙන්න කැමති වුණේම නැහැ. (ප්‍රකට යතිවර අප්‍රකට කතා – 1)

Helarata

Leave a Comment

Translate »