හෙළරට - දේශිය පුවත්

අගමැති සිතුල්පව්වේ ආගමික වතාවත්වල…

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පොහොය දිනයට සමගාමීව පැවති වතාවත්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (2020.06.05) දිනයේ සහභාගි වූවේය.

එහිදි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ ආලෝක පූජාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.

මෙරට පළමුවන රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවයට 41 වසරක් සපිරීම නිමිත්තෙන් එම ආයතනය විසින් ආගමික වතාවත් සංවිධානය කොට තිබිණි.

එහිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කිය.

සිතුල්පව්ව රජමහා විහාරය ඉදිකරනු ලබන්නේ කාවන්තිස්ස රජතුමා විසින්. මෙම සිද්ධස්ථානය අතීතයේ ”චිත්තල පබ්බත විහාරය” ලෙස හඳුන්වලා තියෙනවා. මෙම පූජනීය ස්ථානයේ අදටත් පුරා විද්‍යාත්මක නටඹුන් රාශියක් දක්නට ලැබෙනවා. ස්වභාවිකව පිහිටි ගල්ලෙන් රාශියක් සිතුල්පව්ව පූජා භූමියෙන් සොයාගෙන තියෙනවා. එම සමහර ලෙන්වල චිත්‍ර පවා දකින්න ලැබෙනවා. මෙම භූමියේ රහතුන් වහන්සේලා දොළොස් දහසක් පමණ වැඩසිටි බව ද කියවෙනවා.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ ශ්‍රී බුද්ධවර්ෂ 236 දි. ඒ කියන්නේ මීට වසර 2328 කට පෙර. ඒ කියන්නේ අපි මේ සමරන්නේ 2328 වැනි පොසොන් පොහොය දිනය. මෙවර පොසොන් උත්සවය සමරනු ලබන්නේ ආරෝග්‍යා පරමා ලාභා කියන තේමාව යටතේ. අපි වෙසක් සැමරුම කළේත් මෙම තේමාව යටතේයි.

අද දිනයට යෙදී ඇති අනෙක් වැදගත්කම තමයි ජගත් පරිසර දිනය අදට යෙදී තිබීම. මෙවර ජගත් පරිසර දින තේමාව වන්නේ ‘සොබාදහම සඳහා කාලය‘ යන්න. මෙවර ජගත් පරිසර දිනයත් පොසොන් පොහොය දිනයත් සිතුල්පව්වේදි සමරන්න ලැබීම වාසනාවක් හැටියටයි මා දකින්නේ.
අද රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ රජමහාවිහාරයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරෙනවා.

වෙසක් පොහොය රට පුරා සැමරුවත් විශේෂයෙන් පොසොන් උත්සවය දකුණේ ජනතාව වෙසක් වලට වඩා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න පුරුදු වෙලා ඉන්නවා. දකුණේ ජනතාව පමණක් නොවෙයි මුළු ලංකාවේම සිදුකරන සියලු පිංකම් මෙවර සීමා කිරීමට සිදු වුණේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබාදුන් උපදෙස් නිසයි.

මෙම අවස්ථාවේදි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. මේ වසංගතයෙන් මිදිලා කාටත් සමාජයට එන්න පුළුවන් තත්ත්වයක් ඉක්මණින් ඇති වෙන්න කොරෝනා වසංගතය තුරන් වෙන්න යැයි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරයා අතින් විහාර භූමියේ කොස් පැළයක් රෝපණය කිරීම ද මෙහිදී සිදුවිනි.

එමෙන්ම ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන් විසින් රචිත රමණීය සිතුල්පව්ව ග්‍රන්ථය, ලේල්වල සමිත හිමියන් ප්‍රධාන සංස්කාරකධූරය දරණ ධරම ප්‍රභා ගන්ථය හා නිවන සදහම් සඟරාව ද මේ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.

මෙම අවස්ථාවට යටගල රජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති, ගාල්ල හෙට්ටාවල පරිවේනාධ්‍යක්ෂ පණ්ඩිත ශාස්ත්‍රපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා, ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර පොසොන් සැමරුම් උත්සවය සෙඛ්‍යය උපදෙස් අනුව සමාජ දුරස්තභාවය රැකෙන අයුරින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබිණි.

Related posts

හැදුනුම්පත් අංක අනුව ගමන් යන්න කීම නීතියක් නොව ඉල්ලීමක්…

Helarata

පුරාවිද්‍යා උපදේශක සභාව පත්කරයි…

Helarata

කොරෝනා ආසාදිත 42 ක් මේ වන විට සුවයි.

Helarata

Leave a Comment

Translate »