හෙළරට - දේශිය පුවත්

වහල් වෙළඳාම්කළ මන්ත්‍රී බිම දිගේ ඇඳගෙනවිත් ගඟට දමයි….

බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නමැති නගරයෙහි ඉදි කර තිබූ වසර 125ක් පැරණි විශාල ප්‍රතිමාවක් බිම හෙලා මහමග දිගේ ඇදගෙන ගොස් ගඟකට විසි කිරීමේ සිදුවීමක් ගැන පසුගිය ඉරිදා (7වැනිදා එරටින් වාර්තා විය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම සිද්ධ වූයේ ඇමරිකාවේ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී මියයාමේ සිද්ධියට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ පැවැති දැවැන්ත විරෝධතාවක් අතරතුරය. ලන්ඩන්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, නොටිංග්හැම්, ග්ලාස්ගෝ, එඩින්බර්ග් ඇතුළු නගර රැසක දස දහස් ගණන් ජනයා රැස්වෙමින් මේ ආකාරයෙන් විරෝධතා දැක්වූහ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මෙන්මබ්‍රිතාන්‍යයේ කළු ජාතික ජනයාට එරෙහිව එල්ල වන ජාතිවාදී සැලකිලි සම්බන්ධයෙන්ද විරෝධය දැක්වීම මෙම විරෝධතාවන්හි අරමුණ විය. මෙම විරෝධතා අතර කලින් සඳහන් කළ ආකාරයෙන් බිම දමා ඇදගෙන ගොස් බ්‍රිස්ටල්හි ගංගාවක ගිල්වූයේ එඩ්වඩ් කොල්ස්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ප්‍රතිමාවකි.

1636-1721 අතර කාලයේ විසූ කොල්ස්ටන් වහල් වෙළෙඳාම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. ඔහු කලක් රාජකීය අප්‍රිකානු සමාගම (Royal African Company) නමින් හැඳින් වුණු සමාගමක ඉහළ නිලයක් දරමින් සිට ඇත. එම කාලය තුළ වහලුන් 84,000 ක පමණ සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිට ගෙනවුත් ඇමරිකානු රටවලට විකුණා තිබිණි. පිරිමින් පමණක් නොව කාන්තාවන් සහ කුඩා දරුවන් පවා මේ ආකාරයෙන් විකුණා ඇතැයි
සඳහන් වේ.

මෙම වහලුන් අප්‍රිකාවේ සිට නැව් මගින් රැගෙන එද්දී 19,000 කට කිට්ටු සංඛ්‍යාවක් අතරමගදී
මියගොස් ඇත. මේ ආකාරයෙන් රැගෙන ආ වහලුන් විකුණා ඇත්තේ ඇමරිකානු රටවල දුම්කොළ, සීනි වැනි වගාවන්හි සේවය සඳහාය. ඔවුන්ට එම රටවල ඉතා දුෂ්කර තත්ත්වයන්යටතේ සේවය කිරීමට සිදු වූ බව රහසක් නොවේ. එඩ්වඩ් කොල්ස්ටන් එකල කොන්සර්වේටිව් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබීමද විශේෂයක්. මේ අයුරින් වහල් වෙළෙඳාමෙහි යෙදුණු, එයින් විශාල වශයෙන් මුදල් ඉපැයූ ව්‍යාපාරිකයකුගේ ප්‍රතිමාවක් බ්‍රිස්ටල් නගරයේ ඉදි කර තිබීම කාලයක් තිස්සේම සැලකුණේ එහි වාසය කරන කළු ජාතික ජනයාට කරන අපහාසයක් ලෙසිනි. ඒ නිසා මෙම ප්‍රතිමාව ඉවත් කරන මෙන් මෙයට පෙරද විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ බැව් වාර්තා වෙයි. නමුත් එම ඉල්ලීම් ඉටු වී නොමැති බව පෙනේ.


ජාතිවාදයට එරෙහිව විරෝධතා දක්වමින් පැමිණි විරෝධතාකරුවන් කඹ යොදා ප්‍රතිමාව බිම හෙලා ඒ මත නැගී ප්‍රීති ඝෝෂා පවත්වනුද දැකිය හැකි විය. එක් විරෝධතාකරුවෙකු තම දණහිස ප්‍රතිමාවේ ගෙලට තබා තද කරගෙන සිටින අන්දමද දක්නට ලැබිණි. ඒ, ඇමරිකාවේ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වූ ඩෙරික් චෝවින් සිය දණහිසෙන් තද කරගෙන සිටි ආකාරය සිහිපත් කරමිනි. ප්‍රතිමාව මග දිගේ ඇදගෙන ගොස් ගඟට දමනු ලැබුවේ එයින් පසුවයි. මෙය ලෝකඩින් තනන ලද ප්‍රතිමාවකි. කෙසේ හෝ වේවා, එඩ්වඩ් කොල්ස්ටන්ගේ ප්‍රතිමාවට මේ ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි විරෝධයක් දක්වා තිබිණි. ඔහු පවසා තිබුණේ මෙය සාපරාධි ක්‍රියාවක් බවයි. ඒ නිසා මෙම අපරාධය සිදු කළ අය සම්බන්ධයෙන් පොලිසිය පියවර ගනු ඇති බව ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.


‘අගමැතිවරයාගේ අදහස වන්නේ මෙවැනි කාරණයක දී අනුගමනය කළ
හැකි ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රම තිබෙන බවයි….. ප්‍රතිමාවක් ඉවත් කරවා ගැනීම සඳහා උද්ඝෝණය කිරීමේ අයිතිය ඕනෑම කෙනකුට තිබෙනවා. නමුත් සිදුවුණු දේ සාපරාධි ක්‍රියාවක්. මේ වෙලාවේ ජනතාව තුළ තිබෙන ප්‍රබල හැඟීම් ගැන අගමැතිවරයාට තේරුම්ගත හැකියි. නමුත් මේ රටේ මෙවැනි ප්‍රශ්න විසඳා ගන්නේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙනුයි. ප්‍රතිමාව ඉවත් කරවා ගැනීමට ජනතාවට අවශ්‍යතාවක් තිබුණා නම් එය කළ හැකි වූ ප්‍රජාතන්තවාදී විධික්‍රම තිබෙනවා’ අගමැති ජොන්සන්ගේ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කර තිබිණි.


කෙසේ වෙතත්, බ්‍රිස්ටල් නගරයේ නගරාධිපතිවරයා වන මර්වින් රීස්ගේ අදහස මෙයට තරමක් වෙනස් බව පෙනේ. ඔහු අඟවා තිබුණේ තමා උපන් සහ හැදී වැඩුණු නගරයේ මෙවැනි වහල් වෙළෙන්දෙකුගේ ප්‍රතිමාවක් පැවතීම තමා වැනි අයට කරන අපහාසයක් බවයි. ප්‍රතිමාව නැතිවීමෙන් තමාට කිසි අඩුවක් නොදැනෙන බවක් ද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. කෙසේ නමුත් නගරාධිපතිවරයා පවසා තිබුණේ ප්‍රතිමාව යම් දිනෙක ගඟෙන් ගොඩට ගන්නා බවත්, එය කෞතුකාගාරයක තැන්පත් කිරීමට ඉඩ ඇති බවය.

Related posts

ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න වෙනම පොලිස් නිලධාරියෙක්…

Helarata

මහජන දුක අහන්න ජනපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්….

Helarata

මහනුවර කම්පනයක්…

Helarata

Leave a Comment

Translate »