හෙළරට - දේශිය පුවත්

බෙල්ජියම් රජුට ජනතා දඬුවමක්…

වහල් වෙළෙඳුන්ගේ ප්‍රතිමා ඉවත් කිරීමේ ප්‍රවණතාව බෙල්ජියමටත් පැමිණ තිබේ. මේ අනුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ස්ථාපනය කර ඇති දෙවන ලියෝපෝල්ඩ් රජුගේ ප්‍රතිමාව ඉවත් කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.

දෙවන ලියෝපෝල්ඩ් රජතුමා 1865 සිට 1909 දක්වා කාලය තුළ බෙල්ජියමේ පාලකයා වශයෙන් කටයුතු කළේය. ඔහු වික්ටෝරියා රැජනගේ පළමු ඥාතී සහෝදරයා හැටියට හැඳින්වේ. හතළිස් වසරක ඔහුගේ පාලන කාලය ඉතාමත් කෘෘර සහ සාහසික එකක් ලෙස සැලකේ.


යුරෝපා කොලණි සැදීමේදීත්, රටවල් අල්ලා ගැනීමේදීත් ඔහු ඍජුව මැදිහත් වී තිබේ. එකී කාර්යයේදී ඔහු වැඩිම දායකත්වයක් ලබා දී තිබෙන්නේ සාහසික ක්‍රියාවන් සඳහා බව සටහන්ව තිබේ. අප්‍රිකාවේ සම්පත් විශාල
ප්‍රමාණයක් සූරාකෑම සඳහා දෙවන
ලියෝපෝල්ඩ් රජු මුල් වී ඇත.


ඔහු පළමුවෙන්ම කොංගෝ ගංඟා ද්‍රෝණියට ඇතුළු වී තිබේ. ඒ, එම ගංඟා ද්‍රෝණිය ගවේෂණය කරන්නකු පරිද්දෙනි. පසුව ඔහු මධ්‍යම අප්‍රිකා භූමියෙන් අතිවිශාල ප්‍රදේශයකට හිමිකම් කීම සඳහා අවශ්‍ය ලියකියවිලි සකසා ගත්තේය. ඔහුගේ පාලනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජය වශයෙන් වර්තමානයේදී හැඳින්වෙන රාජ්‍යටය. යුරෝපයේ ඉහළ යන රබර් ඉල්ලුම සපුරාලීම සඳහා එකල ඔහු හමුදාවක් සකස් කරගෙන සිටි බව සඳහන් වේ. එම හමුදාවට අප්‍රිකා ගැහැනුන් හා ළමුන් බලයෙන් අල්ලා, බඳවාගෙන සිට ඇත. එහි සිටි පිරිස වනාන්තර වෙත පිටත් කර හරිමින් ඔවුන් ලවා රබර් එකතු කර ගැනීමට දෙවන ලියෝපෝල්ඩ් ක්‍රියාකර තිබේ.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා අප්‍රිකා ජනයා විශාල වශයෙන් බඩගින්නේ පවා ජීවිතක්ෂයට පත් වූහ. දෙවන ලියෝපෝල්ඩ්ගේ ආරක්ෂක නිලධාරීහු අප්‍රිකා ජාතිකයන්ට නොයෙක් ආකාරයේ වධ හිංසා පැමිණ වූහ.

ඒ දෙවන ලියෝපෝල්ඩ්ගේ අනුදැනුම සහ අණ කිරීම් යටතේය. අප්‍රිකා ජාතිකයන් ඝාතනය කිරීමටත්, අත් පා කපා දැමීමටත් ඔවුන් පෙලඹී ඇත්තේ කිසිදු පැකිළීමකින් තොරවය. ඉතිහාසඥයන් දක්වන ආකාරයට දෙවන ලියෝපොල්ඩ්ගේ සමයේදී අප්‍රිකා ජාතිකයන් මිලියන දහයක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

භච්චන් සුවය ලබයි..

Helarata

විදේශිකයන් සමඟ කොරෝනා ඒමට වැටබඳින්න යයි….

Helarata

කළුගඟ, වේ ගඟ, කුරු ගඟ ඉස්සෙයි…

Helarata

Leave a Comment

Translate »