හෙළරට - දේශිය පුවත්

මනාලයාගේ පැටිකිරිය හොයන අලුත් ක්‍රමයක්…

විවාහ අපේක්ෂක සහකරුගේ අතීත තොරතුරු අනෙක් පාර්ශ්වය වෙත ලබාදීමේ නව සේවාවක් චීනය ආරම්භ කර තිබේ.

තමන් විවාහ වීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉහතදී ගෘහස්ථ හිංසන කිසිවක් සිදුකර ඊට නීතියෙන් වරදකරු වී තිබේද යන්න විවාහ අපේක්ෂක අනෙක් පාර්ශ්වය වෙත දැනගැනීමට නව වැඩපිළිවෙළෙන් ඉඩ සැලසේ. අදාළ පුද්ගලයා, පවුලේ සාමාජිකයන්ට හෝ පෙර විවාහයක කාලත්‍රයාට හෝ හිංසන සිදුකර ඇත්නම් ඒ බැව් අනෙක් පාර්ශ්වයට අනාවරණය කෙරේ. නව පහසුකම මහජනයා වෙත ලබාදීම නැගෙනහිර චීනයේ ෂිජියැන්ග් පළාතේ යිවු ප්‍රදේශයේ බලධාරීහු ලබන පළමු වැනිදා සිට ආරම්භ කරති. මේ පහසුකම සමස්ත චීනය තුළ දැනට ක්‍රියාත්මක නොවන බැව් සඳහන් වේ. එවැනි පහසුකමක් සමස්ත චීනය තුළම ක්‍රියාත්මක විය යුතු බවට සමාජ වෙබ් අඩවිවලින් විශාල බලපෑමක් එල්ල වෙමින් තිබේ. පුද්ගලයකු සම්බන්ධයෙන් මෙවැනි සොයා බැලීමක් සිදු කළ හැකිව තිබෙන්නේ යිවු පළාතේ බලධාරීන් පවත්වාගෙන යන දත්ත රෙජිස්ටරයක් භාවිතයට ගනිමිනි.

මෙකී රෙජිස්ටරය ප්‍රදේශයේ අධිකරණ සහ ආරක්ෂක අංශවලින් ලබාගත් දත්ත මත පදනම්ව පවත්වාගෙන යනු ලැබේ. දත්ත එකතුව පවත්වාගෙන යෑම ආරම්භ කෙරුණේ 2017 වසරේ සිටය. එනිසා 2017 වසරේ සිට මේ දක්වා ගෘහස්ථ හිංසන සිදුකර වැරදිකරුවන් බවට පත් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එහි ඇතුළත්ය.

දත්ත එකතුවෙන් කිසිවකු පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා, තොරතුරු ලබන්නාගේ හැඳුනුම්පත් අංකය මෙන්ම විවාහවීමට යෝජනා කර ඇති පුද්ගලයාගේ පෞද්ගලික විස්තරද අවශ්‍ය වේ. එක් අයෙකුට වසරකට සෙවුම් කළ හැකි වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පමණි. මෙවැනි දත්ත එකතුවක් පවත්වාගෙන යෑමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ප්‍රදේශය තුළ ගෘහස්ථ හිංසන අවම මට්ටමකට රැගෙන ඒමය.


යෝජනා මගින් විවාහ වීමට අපේක්ෂා කරන අයට මෙම දත්ත එකතුවෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි බව වාර්තා වේ. ගෘහස්ථ හිංසනය සම්බන්ධ නීති චීනයේ ක්‍රියාත්මකවීම ආරම්භ කෙරුණේ 2016 වසරේ සිටය. එම නීතිවලට අනුව ගෘහස්ථ හිංසන සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.


එහෙත් චීනයේ සෑම පළාතකම පවා ගෘහස්ථ හිංසන දෙගුණයකින් හෝ තෙගුණයකින් හෝ වැඩිවෙමින් තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Related posts

බලාපොරොත්තු අත්හරින්න එපා – මහ රැජින කියයි

Helarata

ක්‍රෙඩිට් කාඩ් භාවිතය අඩුවෙලා…

Helarata

භික්ෂුවට අගෝචර ක්‍රියා එපා – ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කියති….

Helarata

Leave a Comment

Translate »