හෙළරට - දේශිය පුවත්

ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්න..

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් සළසා දෙන ලෙස (2020.06.26) අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ සමාජිකයින් සමඟ පැවැති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන්කර සිටියේය.

සමාජයේ වඩාත් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස වන ළමයින්, වැඩිහිටි ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සහිත පවුල්වලට ආර්ථික අවපාතයෙන් සිදුව ඇති පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී නියෝජිතවරුන් සමඟ සාකච්ඡා කළේය.


ශ්‍රී ලංකා රජය සෑම විටම ළමා අයිතීන් හා අවශ්‍යතා ප්‍රමුඛකොට සළකන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සමාජයේ පීඩිත පුද්ගලයින් වෙනුවෙන් සමාජීය ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කළේය. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීමට කටයුතු කිරීම මඟින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීමට උත්සාහ ගන්නා රටවලට ණය සහන ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්ගේ අවධානය යොමු වූ අතර, කොවිඩ් -19 වසංගතයට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා රජය ගෙනගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශංසාව පළ කළේය.

Related posts

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ති රැස්වීම ඇරඹේ…

Helarata

ආරක්ෂිත ඇඳුම් තොගයක් අගමැතිට..

Helarata

කොරෝනා මැඬලන අයට ගුවනින් මල්.. ( Photo)

Helarata

Leave a Comment

Translate »