පින්කෙත

කථිකාචාර්යකමෙන් මාව කපලා දැම්මේ මගේ වාසනාවකට ….

කථිකාචාර්යකමෙන් මාව
කපලා දැම්මේ මගේ වාසනාවකට

  • එදා පින්කමට තාලයක් නැතිව දවුල ගැහැව්වෙත් මමයි

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි

ඔබ වහන්සේගේ ගම ගැන මුලින්ම කියමු..

මගේ ගම හම්බන්තොට ගිරුවාපත්තුවේ මුරුංගාගස්යාය.දැන්නම් ගම සාමාන්‍ය දියුණු මට්ටමක තිබුණත් අපි පුංචි කාලේ හරිම දුෂ්කරයි.

අපේ ගෙදර ඉලුක් හෙවිළිකරපු කටුමැටි ගෙදරක්.එකවරක් ඉලුක් සෙවිලිකළවිට අවුරුදු පහක් විතර තියෙනවා.අපේ අම්මා වතුර ගේන්න හැතැප්මක් විතර පයින් යනවා.නාන්න තියෙන තැනට පාන්දරම නොගියොත් වතුර ඉවර වෙනවා.ඒ නිසා හුළු අතු බැඳගෙන පාන්දරම අපි නාන්න යන්නේ.මිදදෙණයේ ඉඳලා අපේ අම්මා වතුර කලේ ඔළුවෙ තියාගෙන එනවා මට තවම මතකයි .

පවුලේ විස්තර ?

මගේ තාත්තා එස්.එ්.වීරක්කොඩි.අම්මා අමරකෝන් දිසානායක පුංචිහාමි.මට අයියලා දෙන්නෙකුයි අක්කයි නංගිලා දෙන්නයි.මම පවුලේ පස්වැනියා.තාත්තා ඒ කාලේ ගමේ උදවිය අරගෙන රටේ විවිධ ප්‍රදේශවල වන්දනාවේ යනවා මතකයි මට.

පැවිදිවිමට සිත් ඇතිවුණේ?

මම පුංචි කාලයේ තාත්තා අපිට උළු සෙවිළිකළ ගෙයක් හැදුවා.ඒ නිවසේ පදිංචියට යන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ දෙනමක් ගෙදර වස් වසවා ගත්තා.මේ දෙනම බෝධි පුජා පැවැත්වුවා.බණ දේශනා කළා.මට එතකොට අවුරුදු 8ක් විතර ඇති.මම තමයි ඒ බෝධි පුජාවට බණට කලින් දවුල ගහන්නේ.කිසිම තාලයක් නැතිව හිතෙන තාලෙට මම දවුල ගැහැව්වා.ඉතින් ගෙදර කරපු ඒ පින්කමත් මගේ හිතට බලපෑවා.

තව මම පුංචි කාලේ අම්මගේ චිත්තයක් සිවුරක් වගේ පෙරවගෙන පිණ්ඩපාතයේ යනවා.මගේ යාළුවෝ තමයි පිණ්ඩපාතය බෙදන්නේ.අපි යාළුවෝ එකතු වෙලා නිතරම වැලිබත් උයනවා.හැබැයි මම කවදාවත් හාමුදුරුවෝ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දැකලා නැහැ.ඒත් ඒක.සංසාර පුරුද්දක් වෙන්න ඇති.

තව සිද්ධියක් වුණා.වස් කාලේට අපේ තාත්තා විවිධ පළාත්වලින් ප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේලා අපේ ගෙදරට වැඩම කෙරෙව්වා.මිද්දෙණිය ඉඳලා පෙරහරකින් ඒ හාමුදුරුවෝ වැඩම කළේ.දවසක් මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ මේ බණට වැඩ්යා.ඒ හාමුදුරුවෝ තාත්තාගේ මාමා.ඉතින් අග්ගාරාම හාමුදුරුවෝ තාත්තාගෙන් අහල තිබුණා මාව මහණකරන්න .මමත් එක පයින් කැමැතිවුනා.

මොකක්ද ඒ පන්සල?

විතාරන්දෙණියේ ඇතගාලමුල්ල අශ්වත්ථාරාමය.1955 මැයි මාසයේ තමයි මම පන්සලට ආවේ.56 ජුනි 25 දා තමයි මම පැවිදි වුණේ.

ඉගෙන ගත්තේ ?

අද වගේ ඒ කාලේ පැවිදිවුණු පහුවදාම පිරිවෙනකට එසා දාන්නේ නැහැ.ඒ කාලයේ අවුරුදු හතරක් විතර මම අපේ ලොකු හාමුදුරුවෝ ළඟ ශතක පොත් පාලි වරනැගිල්ල, ආදි මුලික පොතපත ඉගෙනගත්තා.පාලි නිඝණ්ඩුවේ ගාථා අටසිය ගණනක් මට පුංචි කාලෙම කට පාඩම්.පස්සේ මම තංගල්ල ධම්මදින්න පිරිවෙණට දැම්මා.මේ පිරිවෙණ කාලයක් වැහිලා තිබුණා.ඊට පස්සේ 1960 නැකතකට අකුරු කියවලා මාව පිරිවෙණට ඇතුළත් කරගත්තා.

කොළඹ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වුණේ?

1962 දි මම විද්‍යොදය පිරිවෙනට ඇතුළත්වුණා.එතකොට මට අවුරුදු 17යි .මම පන්තියේ දෙවැනියගෙන් පහළට ගියේ නැහැ.පත්බේරියේ විමලඤාණ හාමුදුරුවෝයි මමයි අතරේ තමයි තරඟය තිබුණේ.එකවරක් උන්වහන්සේ පළමුවැනියා.අනිත් වතාවේ ම පළවැනියා.

විද්‍යොදය පිරිවෙනේ අවසාන වසරේ දක්ෂම ශිෂ්‍යයාට ශ්‍යාමරාජ ත්‍යාගය කියලා ත්‍යාගයක් ලැබෙනවා.මෙය ශිෂ්‍යයාට ලැබෙන ඉහළම ගෞරවයක්.මෙතනදි මමයි පත්බේරියේ හාමුදුරුවෝයි ගැටලුවකට මුහුණ දුන්නා.අපි දෙන්නටම ඒ ත්‍යාගය ගන්න ඔිනෑ.මේ නිසා මම 1968දි මුලින්ම විභාගය ගත්තා.පත්බේරියේ හාමුදුරුවෝ 1969 දි විභාගය ගත්තා.මේ නිසා අපි සෙන්නටම ශ්‍යාමරාජ ත්‍යාගය ලැබුණා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමයි උපාධිය ගත්තේ.එ කාලයෙ විෂයයන් දෙකකින් උපාධිය හැදෑරිම ගැන අත්හදා බැලිමක් කළා.මාත් ඒක කළා.පස්සේ දර්ශන විශේෂ උපාධිය හැදෑරුවා.මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර , කේ.එන්.ජයතිලක, ඩබ්ලිව්.එස් .කරුණාරත්න යන මහ ඇදුරන් මගේ ගුරුවරු වුණා.

ඒ කාලයේ දර්ශනය සංගමයේ හා බෞද්ධ සංගමයේ මම සභාපති වෙලා හිටියා.සරසවියේ සංඝාරාමයෙ තිබු භික්ෂු සංගමයේත් මම සභාපති.තව පෙරදිග භාෂා සංගමයේ සභාපතිත් මම.

ඒ කාලයේ අමතක නොවන සිදුවිම් රැසක් ඇති ඔබ වහන්සේට?

මුළු සරසවි දිවියම අමතක වෙන්නේ නැහැ.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති කාලේ චක්‍රලේඛයක් ආවා හාමුදුරුවරුන්ට පත්විම් දෙන්න බැහැ කියලා.අධ්‍යාපනවේදි උපාධිය කරපු හාමුදුරුවරුන්ට කියලා තිබුණා පත්විම් දෙන්න සිවුරු හැරලා එන්න කියලා.ඒ නිසා ඒ චක්‍රලේඛයට එරෙහිව අපි පෙළගැසුණා.ප්‍රධාන විශ්ව විද්‍යාල හතරේ භික්ෂු සංගම් එකතු වෙලා අන්තර් භික්ෂු විශ්වවිද්‍යල බල මණ්ඩලයක් හැදුවා.මමයි පේරාදෙණියේ සංවිධායක.ඔිමල්පේ සෝභිත හාමුදුරුවෝ විද්‍යෝදය සංවිධායක.අපි අධ්‍යාපන අමාත්‍යංශයට ගිහින් සාකච්ජා කළා.මැතිනියත් නියෝජිතයෙක් එවලා තිබුණා.එතුමිය චක්‍රලේඛය ගැන දන්නේ නැහැ කිව්වා.
මම නැගිටලා කිව්වා ඔය කතා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියලා.මේ වගේ බරපතල ප්‍රශ්නයක් රටේ අගමැතිනිය දන්නේ නැත්නම් ඒ වගේ පාලකයන් පොල්පිත්තෙන් හදාගන්න පුළුවන් කියලා මම කිව්වා.පස්සේ චක්‍රලේඛය ඉවත් කර ගත්තා.අද ඔය භික්ෂු අන්තරේ කියන්නේ අපි හදපු සංගමය තමයි.අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඇතිවුණේ ඔය විදියටයි.

ඔබ වහන්සේ අධ්‍යාපන කේෂත්‍රයටත් පිවිසියා?

උපාධිධාරි ගුරු පත්විම මට මුලින්ම ලැබුණේ කදුරුපොකුණ මහවිදුහලට.ඉන් පස්සේ කොළඹ වනාතමුල්ලේ සීවලි විදුහලට ආවා.එදා කදුරුපොකු⁣ණෙන් එනකොට විදුහල්පතිතුමා ඇඬුවා.
පස්සේ විද්‍යෙදය පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස පත්වුණා.ඔය අතරේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ධර්මාධ්‍යක්ෂ තනතුරට පත්වුණා.විශ්ව විද්‍යාල සිසුන් හිමිදිරියේ අවදිකරවා භාවනා කරවිම පහසු නැහැ.ඒත් මම ඒ වැඩේ හරියට කළා.මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ ඒ දවස්වල කිව්වා මුරුංගාගස්යායේ ස්ථවිරයන් විතරයි ධර්මාධ්‍යක්ෂ තනතුර හරියටම කළේ කියලා.
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට මම සම්මුඛ පරික්ෂණයකට මම ගියා.මහාචාර්ය ඩබ්ලිව්.එස්.කරුණාරත්න මහතා තමයි සම්මුඛ පරික්ෂණය ක⁣ළේ.මම එයින් සමත්වුණා කියලා එතුමා මගේ යාළුවෙකුට කියලා තිබුණා.ඒ්ත් මට පත්විම ලැබු⁣ණේ නැහැ දේශපාලන බලපෑමක් නිසා.අදත් මම සතුටු වෙනවා ඒ පත්විම නොලැබුණාට.ඒ පත්විම ලැබුණානම් විශ්වවිද්‍යාලය තුළම මට හිර වෙලා ඉන්න වෙනවා.මේ අද මම කරන කිසිම සේවයක් එහෙනම් කරන්න වෙන්නේ නැහැ.

තව සිදුවීම් ඇති?

ඔව්.අපුරු සිද්ධියක් කියන්නම්.මම පන්සලට ආපු වෙලාවක ගොළු මනුස්සයෙක් ආවා.මෙයා ශාස්ත්‍ර කියනවා.හැමෝම මෙයාගෙන් ශාස්ත්‍ර ඇහැව්වා.කියන්නේ හත් දෙනාටයි.අය කිරිම රුපියලයි.මම ඉතින් බුලත් කොළයක රුපියලක් දීලා ගොළු මනසුස්යාගෙන් ශාස්ත්‍රය ඇහැව්වා.මේ මනුස්සයාට හොඳට සිංහල.ඉංග්‍රීසි ලියන්න පුළුවන්.ශාස්ත්‍රය ලියලා තමයි පෙන්වන්නේ.මෙයා ලිව්වා මම වැඩි කාලයක් ලංකාවේ ඉන්නේ නැහැ කියලා.පිටරට යනවා කිව්වා.ඇත්තටම ඒ කාලයේ පිටරට යන්න මට කිසිම අදහසක් තිබුණේ නැහැ.

නායක හාමුදුරුවෝ විදේශ ධර්මදුත සේවයට යොමුවුණේ කොහොමද?

දවසක් මම විද්‍යෙදය පිරිවෙනේ උගන්වමින් ඉන්නකොට බලංගොඩ සෝභිත හාමුදුරුවෝ (වත්මන් පරිවේණාධිපති ) මගෙන් ඇහැව්වා ප්‍රංශයට යන්න කැමැතිද කියලා.මම හා කිව්වා. පස්සේ තමයි දැනගත්තේ පරවාහැර චන්දරතන නාහිමියන් හොඳට බණ කියන්න හැකි හිමිනමක් සොයමින් සිටි බව.චන්දරතන නාහිමියන්ගේ ඒ ඇරයුම තමයි මට පැරිසියට එන්න ලැබුණේ.දැනට ප්‍රංශයට ඇවිත් මම දශක තුනකට වැඩියි.

ඒ මොන අවුරුද්දේද?

1985 ජුලි 3දා තමයි ප්‍රංශ ගමන තිබුණේ.ඒත් මම 2 දාත් පිරිවෙනේ වැඩ කළා.මම යන්න හදනවිට පරිවේණාධිපති අකුරටියේ අමරවංශ නාහිමියන් කිව්වා ඤාණිස්සර ස්ථවිරයන් පිරිවෙනින් යෑම මට ගුරුවරු හතරදෙනෙක් නැතිවුණා වගේ සමානයි කියලා.ගුරුවරුනම් ඔිනේ තරම් හොයාගන්න පුළුවන්.ඒත් ඤාණිස්සර ස්ථවිර වගේ ගුරුවරු දුලභයි කිව්වා.ශිෂ්‍යයනුත් උත්සවයක් පවත්වලා කථා පැවැත්වුවා.තමන්ට අම්මා තාත්තා නැතිවුණා වගේ දැනෙනවා කියලා ශිෂය්‍යයන් කිව්වා.එය මට හරියට හිතට දැනුනා.

ඔබ වහන්සේ මේ වනවිට වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් විශාල පිරිසකට ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා?

ඔව්.මගේ නංගි සෝමා ඉගැන්වු පාසලෙන් වෛද්‍ය විද්‍යාලයට සමත්වුණු ළමයෙක් ඉකාම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙනවා කියලා මට කිව්වා.ඒ ළමයාට උදව් කිරිමෙන් තමයි මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ආරම්භ කළේ.ඉතින් අද එය පුළුල් මට්ටමින් කරගෙන යනවා.

තව සේවාවන් රැසක් තිබෙනවා ඔබ වහන්සේගේ ?

ඔව් කරන දේවල් මම මතකයේ තබාගන්නෙත් නැහැ.මෑතක මම මිද්දෙණිය රෝහලේ රුපියල් කෝටි 3 1/2ක වියදමින් අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණයක් හැදුවා.එහි සියළු පහසුකම් තිබෙනවා.ඒ රෝහලට වෛද්‍ය නිල නිවසකුත් හදා දුන්නා.මිද්දෙණිය වාට්ටු සංකිර්ණය විවෘත කරන දවසේ මම ලක්ෂ 10ක වියදමින් ඇස්කණ්ණාඩි දුන්නා.තව පළාතේ හැම කෙනාට වෛද්‍ය පරික්ෂණයකට භාජනය කරලා අවශ්‍ය බෙහෙත් ෆමසියෙන් අරන් දුන්නා.තව වෙනත් රොහල් වලට විවිධ උපකරණ පරිත්‍යාග කළා.නිවාස අහිමි අයට නිවාස ඉදිකරදුන්නා.ශිෂ්‍යත්ව සමත් දරුවන්ට ශිෂ්‍යත්ව දුන්නා.ඒ විතරක් නොවේ මිද්දෙණිය ප්‍රදේශයට අඩුපාඩුවක්ව පැවැති ආදාහනාගාරයක් පවා මම ඉදිකර දුන්නා..මේ ආදි මට හැකි සේවාවන් මම කරනවා.හැබැයි මේ කිසිම දෙයක් මම කරන්නේ කාගෙන්වත් සල්ලි සම්මාදන් කරලා නොවේ.මේ වැඩවලට මම කාගෙන්වත් සත පහක් වත් ඉල්ලගෙන නැහැ.
මට ලැබෙන දේ තමයි මම අනුන්ට දෙන්නේ.මම මේවා කරන්නේ කාගන්වත් ස්තුති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.මම වෛද්‍ය සිසුන්ට ශිෂ්‍යත්ව දෙනවිට හැම අවුරුද්දේම කියන්නේ ඒ දෙන දෙයින් ප්‍රයෝජන අරන් හොඳින් ඉගෙන ගෙන ඉන් පස්සේ හැකි අයුරින් අසරණ ශිෂ්‍යයන්ට උදව් කරන්න කියලයි.

ඔබ වහන්සේට වෙස්සන්තර හාමුදුරුවෝ කියලා බොහෝ හාමුදුරුවරු හදුන්වනවා?

උත්සව ආදියට ගියාම එහෙම කියනවා මටත් ඇහෙනවා.ඒ මම කරන සේවාව නිසා වෙන්න ඇති.මම කරන පිං මට බලපාවි.මම ප්‍රංශයේ හිටියට අන්තර්ජාලයෙන් ලංකාවේ සියළු පත්තර කියවනවා.ඒ පත්තරවල තියෙන අසරණයන් ගැන සදහන්වන කාරණා මම පස්සෙ හොයලා බලලා ඒ අයට අවශ්‍ය උදව් කරනවා.හැබැයි ඒ මම කරන බොහෝ දේවල් අඬබෙර ගහලා රටට කෑගහලා කියන්න මම යන්නේ නැහැ.බොහෝ වෙලාවට මම කරන සේවා දන්නේ ඒ උදව් ලබන කෙනයි මම විතරයි.එය මට විශාල සතුටක්.ඒ සතුට මට ප්‍රමාණවත් .

ධර්ම ශ්‍රි තිලකවර්ධන
“ලක්බිම”හිටපු ප්‍රධාන උප කර්තෘ

(ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ,ප්‍රංශය ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සමඟ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතාගේ “ගුරු පාරෙන් බෝමළුවට ” කෘතියට කළ සාකච්ජාවක කොටසකි මේ.)

Related posts

වාහනයේ හිරවෙලා ඉන්නකොට මට හිතුනේ එදා අපවත්වෙයි කියලා..

Helarata

ඇසළ පෝදා සංඝරාජ හිමි සිහිකරන්න…

Helarata

මට හත් අට වතාවක් සිවුරු හැරයන්න හිතුනා – ප්‍රකට යතිවර අප්‍රකට කථා -2

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!