හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

🖋️කෑගල්ල ජී.රාජපක්ෂ …

පසුගිය මැයි මාසයේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ආපදා රැසක් වාර්තා වුණ අතර පුද්ගල මරණ දෙකක් ද ඒ අතර වාර්තා විය.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගස්දෙණිය පෙයාර්ෆල්ස් ප්‍රදේශයේ කුඩා ඔයේ ජල පහරකට අසුවීමෙන් වයස අවුරුදු 48 ක පුද්ගලයෙකු ද යටියන්තොට කිරිකොහුතැන්න ග්‍රාම නිලධාරී වසමේ බටහේන්කන්ද ග්‍රාමයේ අකුණු පහරක් වැදීමේන් තවත් පුද්ගලයෙකු ද මරණයට පත් විය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ආරක්ෂක අමාත්‍යංශය මඟින් වෙන් කරනු ලබන එක් මරණයක් සඳහා රුපියල් 250,000.00 බැගින් වන වන්දි මුදල් අදාළ පවුල් වෙත ලබා දීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අතින් අද (04) පෙරවරුවේදී සිදු කෙරිණි.

පූර්ණ වශයෙන් හානියට පත්වූ නිවාස සඳහා සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

යටියන්තොට බටහේන්කන්ද ග්‍රාමයේ මරණයට පත් පවුල සඳහා රාජ්‍ය අංශය තවත් රුපියල් 650,000.00 ක් වැය කරමින් නව නිවසක් ඉදිරි මාස 06 තුළ දී ඉදිකර දීමටත් එම පවුලේ අවුරුදු 08 ක් වයසැති කුඩා දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීමටත් කටයුතු කරන බව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් සමන් අනුර මහතා පැවසීය.

මෙම අවස්ථාවන් සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් සහ සංවර්ධන) දිනීෂා රත්නායක, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් සමන් අනුර, කෑගල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී රංජිත් අමරසේන, යන මහත්ම මහත්මීන් සමග ගලිගමුව සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ආපදා සහන සේවා නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

බොල්ගොඩ මන්නයා මරුට

Helarata

ආපදාවලට ලක්වුණු පවුල්වල වර්ඩ්ල් විෂන් සුබසාධන කටයුතු සාර්ථකව අවසන්….

Helarata

පැලවත්ත බස් නැවතුම්පළ ප්‍රතිසංවර්ධනය ආරම්භ කරයි.

Helarata

Leave a Comment

Translate »