හෙළරට විශේෂාංග

කුවේටයේ සිටින අම්මාට ⁣රෝහලේ ඇඳක් මත හිඳ ගී ගයන සජන්..

🖋️මාවනැල්ල – සමන් විජය බණ්ඩාර

මාවනැල්ල, හෙම්මාතගම පදිංචි එන්.ජී. සජන් දිල්රුක්ෂ බණ්ඩාර වයස අවුරුදු 21ක තරුණයෙකි. එහෙත් අභාග්‍යයකට මෙන් තාරුණ්‍යයේ සුන්දරත්වයත්, කෙළිලොල් බවත් මේ වන විට ඔහු වෙතින් දුරස්ව ගොස් ඇත. ඊට හේතුව ඔහු ලියුකේමියා රෝගයෙන් පෙළීමය.

මෙයට මාස තුනකට පමණ පෙර කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට මෙම රෝගය වැලඳී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කළ අතර මේ වනවිට ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම රෝගයට ගොදුරු වීමෙන් පසු මනාව වැවී තිබුණු කොණ්ඩය ඔහුට අහිමි වී ඇත. පෙර තිබූ දඟකාර, කෙළිලොල් ගතියද කෙමින් වියැකී ගොස් තිබේ. සජන්ගේ මුවගින් පිටවන වදනක පවා අද රැඳී ඇත්තේ සංවර බවකි. ජීවිතය යනු කුමක්දැයි ඔහු මේ වන විට අත්දැකීමෙන් සකස් කර ගෙන තිබේ.

සජන්ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 19 වැනිදාය. එය ඔහුගේ දිවි ගමනේ වඩාත්ම සුවිශේෂී හා ප්‍රීතිමත්ම උපන් දිනය වූ බව නිසැකය. ඊට හේතුව කුඩාකල පටන් ඔහුගේ සිතේ තිබූ සිහිනයක් සැබෑ කර ගැනීමට හැකියාව ලැබීමයි. කවදා හෝ තමන්ගේ හඬින් ගීතයක් එළිදැක්වීමේ ඒ හීනය වියැකී යන්නට ඉඩ නොදී එය සැබෑවක් බවට පත් කර ඒ ගිලන් වූ සිත සුවපත් කළේ සජන් මුහුණු පොතෙන් හඳුනාගත් යෙහෙළියක වීම විශේෂත්වයකි.

පුංචි කාලේ ඉඳන්ම මම සංගීතයට ආසයි. කවදාහරි මගේම ගීතයක් පටිගත කරන ආසාව මගේ හිතේ තිබුණා. ඒත් මේ රෝගයත් එක්ක ඒක කවදාවත් සැබෑ කර ගන්නට බැරි සිහිනයක් කියා මම හිතාගෙන හිටියා. ඒත් දෛවයේ සරදමට ලක් වූ මම​ දෛවයේම ආශිර්වාදයකින් මගේ ඒ සිහිනය සැබෑ කර ගත්තා.

මුහුණු පොතේ මගේ යෙහෙළියක වුණු නිපුනි වින්ධ්‍යා නංගිට තමයි මුලින්ම මගේ ආසාව ගැන කිව්වේ. ‘‘හරි අයියේ අපි වැඩේ කරමු’’ කියලා එයා මාව දිරිමත් කළා. එයා චින්තක කියලා අයියා කෙනකුට සින්දුව ලියන්න බාරදීලා. ඇත්තටම ඒ ගීතයේ තියෙන්නේ මගේම අත්දැකීම්. ඊළඟ ගැටලුව වුණේ සංගීතවත් කරලා මේක ගායනා කරන එක. නිපුණි නංගි කිව්වට පස්සේ තරිඳු කියලා මම දැකලවත් තිබුණෙ නැති අයියා කෙනෙක් මේකේ මියුසික් කරන්න බාර ගත්තා. සල්ලි එපා අපි සින්දුව කරමු කියලා එයා කියලා තිබුණා.

අනුන්ගේ දුකකදී, විපතකදී හිත් උණු වෙන සංවේදී මිනිසුන් අද මේ සමාජයේ විරළය. එහෙත් ඉඳහිට හෝ එවන් උත්තම ඝනයේ මානව, මානවිකාවන් ගැන ද අපට අසන්නට ලැබේ. එයද සිතට සැනසිල්ලකි. නිපුනි වින්ධ්‍යාද තාරුණ්‍යයට ආශිර්වාදයක් හා ආදර්ශයක් වූ එවන් යෞවනියකි.

සජන් අයියා මුහුණු පොතේ මගේ යාළුවෙක්. එයා මට දවසක් කෝල් කරලා එක ඉල්ලීමක් කළා. ‘‘නංගි ජූලි 19 මගේ උපන් දිනය. මට පුළුවන්නම් සින්දුවක් කරන්න උදව් කරන්න. අම්මාත් රුපියල් 25,000ක් එව්වා’’ කියලා. ඒ කතාව මගේ හිතේ ​ෙද්‍ර්ංකාර දුන්නා. ඊට පස්සේ චින්තක අයියාට කියලා මේ සින්දුව ලියලා තරිඳු අයියා ලවා ගීතයට සංගීතය නිර්මාණය කර දුන්නා. ඒ ගීතය තමයි අපි සජන් අයියාට දුන්නු උපන් දින තෑග්ග. මගේ යාළුවෝ හැමෝටම ගොඩක් පින්. මේ විදිහට උදව් කළාට. හැමෝම මේ ගීතයේ පටිගත කිරීම්වලට සහභාගි වුණේ නොමිලේ. අපි බෞද්ධයන් විදිහට මේ කර ගත්තේ ලොකු පින්කමක් කියලා මට හිතෙනවා.

සජන්ගේ උපන්ගම ගම්පොළයි. එහෙත් ඔහු පදිංචිව සිටියේ තම පියාගේ ගම් පියස වන හෙම්මාතගමය. ඔහුට පාසල් යන වයසේ සොයුරෙක් හා සොයුරියක්ද සිටියි. පියාට හරිහමන් රැකියාවක් නොමැති නිසා පවුලේ බර කරට ගනිමින් මව විදෙස්ගත වූයේ කලකට පෙරය.

අම්මා ගෘහ සේවිකාවක් විදිහට කුවේටයේ සේවය කරනවා. අම්මා රට ගියේ අපිට ඉන්න හිටින්න තැනක් හදා ගන්න. ඒ වගේම අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. පවුලේ වැඩිමලා විදිහට මට ඕනෑ වුණේ රැකියාවක් කරලා නංගිට මල්ලිට උගන්නලා දෙමව්පියන්ට සලකන්න. ඒ නිසා මම කැකිරාව ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසලක රැකියාවට ගියා.

කැකිරාවේ වැඩ කර කර ඉන්න කොට තමයි කොරෝන වංසගතය ආවේ. ඊට පස්සේ ගෙදර එන්න වුණා. ගෙදර ඇවිත් ඉන්න කොට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇවිත් හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලට ඇතුළු වුණා. එතැනින් කොරෝනා කියලා සැකකරලා මාව මාවනැල්ල රෝහලට මාරු කළා. මගේ ඇඟේ ලේ අඩුයි කියලා ලේ ලබා දෙන්න මාව කෑගල්ල රෝහලට මාරු කළා. මට ලියුකේමියා රෝගය බව හෙළි වුණේ එතැනදි. ඊට පස්සේ තමයි මාව අපේක්ෂා රෝහලට ඇතුළත් කළේ. හැබැයි මැරෙන්න කලින් මගේ හඬින් ගීතයක් ගායනා කරන්න ඕනෑ කියන අධිෂ්ඨානය මගේ හිතට ආවේ මේ අතරේ. හැමෝම මට උදව් කළා.

සමාවෙන්න අම්මේ මට යන්න වෙනවට

කරපු පවක් ඇයි කලින්ම පලදුන්නෙ මේ මට

ලොකු හීන නෑ මැව්වේ මං කිසිදාක

ඔය තුරුලේ එක පාරක් ඉන්න දෙනවද

මේ ගීතය ගායනා කළේ දුරුතකරක වෙසෙන සිය ආදරණීය මව වෙනුවෙනි. ගීතය පටිගත කරන දා එතැනට රැස් වූ සජන්ගේ යහළු යෙහෙළියන් සැමටම එය අතිශය සංවේදී මොහොතක් විය. සජන්ගේ ගායනය සැමගේ නෙත් කඳුළින් තෙත් කරන්නට සමත් වූයේ එය එතරම්ම සංවේදී වූ නිසාය.

Related posts

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

හිස් චරිත මතුවීම හා පඬිවරුන්ගේ නික්මයෑම (යුගයක අවසානය)….

Helarata

ධූමකේතු භූතාචාර්යතුමාගේ හෙළිදරව්වට ට්‍රම්ප් ඇඳෙන් වැටේ.

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!