හෙළරට - විදෙස් පුවත්

නවසිලන්තයේ නිරෝධායන හෝටලයේ තාප්පෙන් පැන්න කතට නඩු…

🖋️නිරන්ජන් හෙරත් නවසීලන්තයේ සිට

හතළිස් තුන්වන වියේ පසුවන කාන්තාවක් කෝවිඩ් -19 රෝගය සඳහා නිරෝධායනය වෙමින් සිටියදී එම හෝටලයෙන් පලා යාම සම්බන්ධව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් අධිකරණයේ නඩු පවරා ඇත.

ඩනීඩින් දිසා අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේ කොවිඩ් -19 නියෝගයන්ට අනුකූලව කටයුතු නොකිරීමේ චෝදනාවට ඇය වරද පිළිගත් අතර, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු විසින් සිකුරාදා දක්වා කල් තබන ලදී.

මෙම කාන්තාව පසුගිය ජුනි 27 වන දින ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට පැමිණ ඇති අතර දින තුනකට පසු කරන ලද කෝවිඩ් -19 පරීක්ෂණයේදී ආසාදිත නොවූ පුද්ගලයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

කෙසේ වෙතත් නවසීලන්තයේ නීතිය අනුව සම්පූර්ණ නිරෝධායන කාලය ඇයට ගත කිරීමට සිදුවී ඇති අතර පසුගිය ජුලි 4 වන දින ඇය හෝටලයෙන් පලාගොස් ඇත.

මෙම කාන්තාව විනාඩි 20 ක පමණ කාලයක් පිටත ගත කිරීමෙන් පසු නැවත හෝටලය වෙත පැමිණ, ඉන් විනාඩි කිහිපයකට පසු නැවතත් පිටතට පැමිණ හෝටලයේ තාප්පයෙන් පැන පලා ගොස් ඇත.

මෙසේ රජය විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පලා යාමට උත්සාහ කළ අය අතරින් අධිකරණයට පැමිණවූ පළමුවැන්නා මෙම කාන්තාව වන අතර නවසීලන්තයේ නීතියට අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම උපරිම වශයෙන් මාස හයක සිර දඬුවමක් නියම කළ හැකි වරදකි.

විදේශයන්හි සිට නවසීලන්තයට පැමිණෙන සෑම පුද්ගලයෙකුම අවම වශයෙන් දින 14 ක් නිරෝධායනය විය යුතු අතර එම මධ්‍යස්ථාන වලින් පිටව යාමට පෙර කොවිඩ් -19 සඳහා පරීක්ෂාවන් සිදුකර ගෙන ආසාදිත නොවන බව තවුරු කල ගත යුතුය.

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ 11,000 දක්වා ඉහලට

Helarata

ඉන්දියාවේ ට්‍රක් රථ අනතුරින් සංක්‍රමණික කම්කරුවන් 23ක් මරුට…

Helarata

ගුහා වන්දනාවට කොරෝනා ඔරවයි…

Helarata

Leave a Comment

Translate »