හෙළරට - දේශිය පුවත්

අභියෝග මතින් උපන් ජයග්‍රහණය රටේම විජයග්‍රහණයක් කරනවා!…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එවැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම දෙනාට මාගේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ප්‍රණාමය පුද කරනවා.

මේ විශිෂ්ට ජයග්‍රහණය රට ලැබූ ජයග්‍රහණයක් බව මම කියන්න ඕනෑ. කෝවිඩ් -19 වසංගතය නිසා මුළු ලෝකයම අකර්මණ්‍ය වෙලා තිබෙන කාලයක තමයි අපි ජනතාව කෙරෙහි විශ්වාසය තබා මේ මැතිවරණය පවත්වන්න තීරණය කළේ. මේ රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවකටත් වඩා ඡන්දපොළට ඇවිත් ඡන්දය ප්‍රකාශය කළා. කෙතරම් අසීරු තත්ත්වයකදී වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න ජනතාව ඉදිරිපත් වීම ගැන අපි රටක් හැටියට සතුටු වෙන්න ඕනෑ.

ඒ වාගේම මෙබඳු වසංගත තත්ත්වයක් යටතේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් අරගෙන එය ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණ රටවල් ලෝකයේ තියෙන්නේ අතළොස්සයි. ලංකාව එබඳු තීරණයක් ගත්ත රටක්. ඡන්දය භාවිත කිරීමට පැමිණි සියලුම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසමට, සෞඛ්‍ය සේවයට, ආරක්ෂක අංශවලට හා, රජයේ නිලධාරින්ට පුළුවන්කම ලැබුණා.

අභියෝග මතින් තමයි නියම විජයග්‍රහණයක් උපදින්නේ. යුද්ධය ජය ගැනීම, කොවිඩ් -19 වසංගතය ජය ගැනීම වගේම මේ වගේ ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් අපි ලෝකයට පෙන්වා දෙන්නේ අපේ රටේ ශක්තිය හා ජනතාවගේ ශක්තිය. මෙම මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩනංවන ජයග්‍රහණයක්. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම මේ රට තුළ තහවුරු කරන්න පුළුවන් බව මේ මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පු වෙනවා. මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කරන්න අපි අධිෂ්ඨාන කරගන්නවා.

මේ මහා මැතිවරණයේ දී ඡන්දය දුන් සියලු ජනතාවටත්, මැතිවරණය සාර්ථකව හා සාමකාමීව පැවැත්වීමට සහය වූ මැතිවරණ කොමිෂන් සභාවටත්, ආරක්ෂක අංශවලටත්, රජයේ නිලධාරින් සියලු දෙනාටත්, සියලුම මාධ්‍යයන්ටත්, මැතිවරණ නිරීක්ෂකයින්ට සහ මුළු මහත් ජනතාවටත් මාගේ ස්තූතිය පිරිනමනවා.

~

Related posts

විශේෂ ගැසට්ටුවකින් ආරක්ෂක අමාත්‍යාංශයට නව විෂයයන්

Helarata

අගමැති බංගලාදේශ මහකොමසාරිස්ගේ සේවාව අගයයි.

Helarata

පදික වේදිකාවේ වාහන වලට 50,000ක දඩ….

Helarata

Leave a Comment

Translate »