හෙළරට - විදෙස් පුවත්

ගාන්ධිතුමා⁣ගේ කණ්ණාඩිය වෙන්දේසියේ…

මෙයට සති හතරකට පමණ සඳුදා දිනෙක බ්‍රිතාන්‍යයේ ඊස්ට් බ්‍රිස්ටල් වෙන්දේසි සමාගමේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පැමිණි වෙන්දේසිකරු ඇන්ඩි ස්ටෝව් කිසියම් පාර්සලයක් සමාගමේ ලියුම් පෙට්ටිය මත එල්ලෙමින් තිබෙනු දැක ඇත.


පාර්සලය සුදු පැහැති ලියුම් කවරයක බහා තිබිණ. ලියුම් කවරය විවෘත කර බලන විට ඒ තුළ රන් පැහැ රාමුවක් සහිත උපැස් යුගළක් ඔහුට දක්නට ලැබී තිබේ. උපැස් යුගල රවුම් ස්වභාවයකින් යුක්ත එකක් වූ අතර එය සාමාන්‍යයෙන් අද දක්නට ලැබෙන ම ෝස්තරවලට වඩා බෙහෙවින් වෙනස් බව ඔහුට එක්වරම අවබෝධ වී ඇත. ලියුම් කවරය තවදුරටත් පරීක්ෂා කර බලන විට ඒ තුළ තිබුණු ලියුම් කැබැල්ලක් ඇන්ඩි අතට පත්ව තිබේ. ලියුමෙහි සඳහන්ව තිබී ඇත්තේ ” මෙය ගාන්ධිතුමන්ට අයත් උපැස් යුගලයි. එය මට ලැබුණේ මගේ මාමා කෙනෙකුගෙනි.” යනුවෙනි. උපැස් යුගල ලියුම් පෙට්ටිය මත දමා ගිය පුද්ගලයාගේ දුරකථන අංකයත් එහි සඳහන්ව තිබුණු බව ඇන්ඩි පවසයි.


ලිපියෙහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී කරුණු විමසා බලන විට උපැස් යුගල එහි දමා ගොස් තිබුණේ අසූ හැවිරිදි පුද්ගලයකු බව සනාථ කර ගැනීමට සමාගමේ සේවකයෝ සමත් වූහ. එම අසූ හැවිරිදි පුද්ගලයා අනාවරණය කර තිබෙන්නේ, එම පුද්ගලයාගේ මාමා කෙනකුට ගාන්ධිතුමන් තම උපැස් යුගල දකුණු අප්‍රිකාවේදී තෑගි කර ඇති බවකි. උපැස් යුගල ලබාගත් තැනැත්තා දකුණු අප්‍රිකාවේ එවක සේවය කරමින් සිට ඇති බවත් ද කියැවිණ.

ඔහු එය තම ඥාති දරුවකුට පසුව ප්‍රදානය කර තිබේ. මේ කතාවේ සත්‍යාසත්‍ය බව සොයා ගන්නට ඊස්ට් බ්‍රිස්ටල් වෙන්දේසි සමාගම පසුව පෙලඹී තිබේ. කාලය නිර්ණය කිරීමේ පරීක්ෂාද, එකල සමාජයේ පැවැති උපැස් යුගල මොස්තරද, ගාන්ධිතුමන් විටින් විට පැලඳ සිටි උපැස් යුගලවල ස්වභාවයන්ද එහිදී සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව එය ගාන්ධිතුමන්ට අයත් උපැස් යුගලක් බව සනාථ කරගන්නට සමාගම සමත්ව තිබේ.


“පර්යේෂණ මගින් මේ කතාවේ සත්‍යතාව අප සොයා ගත්තා. අපට තහවුරු වුණා; මේ උපැස් යුගල ඉතා වටිනා එකක් බව. …” යැයි ඇන්ඩි ස්ටෝව් පවසයි.


උපැස් යුගල ඇමෙරිකා ඩොලර් 13,000ත් 15,000ත් අතර වටිනාකමකින් යුක්ත එකක් බව සමාගම් බලධාරීහු පසුව තීරණය කළහ. තමන් සතුව එතෙක් පැවැති එම උපැස් යුගල එපමණ වටිනාකමකින් යුක්ත එකක් බව අසූ හැවිරිදි පුද්ගලයා දැන නොසිටියේය. ඉන්දියාවේ නිදහස් අරගලයට පණ දුන් ශ්‍රේෂ්ඨ භාරත පුත්‍ර මහත්මා ගාන්ධිතුමන් පැලඳූ එම උපැස් යුගල ලබන 21 වැනිදා වෙන්දේසි කිරීමට ඊස්ට් බ්‍රිස්ටල් වෙන්දේසි සමාගම කටයුතු සංවිධාන කර ඇත.

Related posts

ඉතාලියට ඒම යෑම ජුනි 3 සිට…

Helarata

ජර්මනියේ දිස්ත්‍රික්ක දෙකක් යළි වැසේ…

Helarata

විලියම් කුමරුට දුකහිතුන හැටි කියයි…

Helarata

Leave a Comment

Translate »