හෙළරට - විදෙස් පුවත්

නවසීලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹේ….

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවී දින 102ක් ගතවීමෙන් පසු, ඊයේ (අගෝස්තු 11 වෙනිදා) ප්‍රථම වතාවට නවසීලන්තයේ උතුරු දිවයිනේ ප්‍රධාන නගරය වන ඕක්ලන්ඩ් නුවරින් නව කොරෝනා ආසාදිතයින් හතර දෙනෙකු හමු විය.

මෙම ආසාදිත පුද්ගලයින් හතර දෙනාම එකම පවුලේ සාමාජිකයින් වන අතර මොවුන් කිසිදු විදේශ සංචාරයක යෙදුනු අයද නොවේ.

මෙම තත්වය ඇතිවූ වහාම විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවූ අගමැතිනි, ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය විසින් අගෝස්තු 12 වෙනිදා දහවල් 12 සිට විශේෂ සෞඛ්‍යාරක්ෂිත නීතිරීති මුළු නවසීලන්තය පුරාම නැවත ක්‍රියාත්මක කරන බව නිවේදනය කලාය.

මේ අනුව මිළියන 1.5ක පමණ ජනගහණයක් සිටින ඕක්ලන්ඩ් නුවර ජනතාව අද දහවල් 12 සිට තම නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර, අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පමණක් ඔවුනට බැහැර යාමට අවසර ලැබේ.

අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන අයගේ දරුවන්ට පමණක් පාසැල් විවෘත වන අතර අනෙකුත් සියළුම පාසැල් වසා දමනු ලැබේ. සියළුම පොදු පහසුකම්, බාර්, අවන්හල් සහ ව්‍යාපාරද බදාදා සිට වසා දැමිය යුතුය.

කෙසේ වෙතත්, ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වැනි අත්‍යවශ්‍ය සේවාවන් විවෘතව පවතිනු ඇත.

මීට අමතරව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් පිටත යන ඕක්ලන්ඩ් වැසියන් සියළු දෙනාම මුහුණු ආවරණයක් භාවිතා කළ යුතුය.

රටේ සෙසු ප්‍රදේශ වලටද අමතර සෞඛ්‍යාරක්ෂිත නීතිරීති හඳුන්වා දී ඇති අතර, ඒ අනුව විශාල ප්‍රමාණයේ ජන ඒකරාශී වීම තහනම් කර ඇත.

මීටරයක අවම දුර පවත්වාගෙන යා නොහැකි අවස්ථාවලදී රටේ සෙසු ප්‍රදේශවල වෙසෙන අයද මුහුණු ආවරණ පැළඳිය යුතුය.

නවසීලන්තවාසීන් මෙම නව තත්වය හමුවේ දැඩි කළකිරිමකට පත් විය හැකි යැයි පැවසූ අගමැතිණිය “අප ලොව අන් සියළුම රටවලට වඩා දුර ගමණක් ගොස් ඇත. මගේ ඉල්ලීම නිසා කලකිරීමට හෝ අධෛර්යයට පත් නොවන්න. අපි මීට පෙරද මෙය සාර්ථකව කර ඇති නිසා කුමක් කළ යුතුදැයි අපි දනිමු” යැයිද වැඩිදුරටත් එම ප්‍රවෘත්ති සාකච්චාවේදී කියා සිටියාය.

Related posts

නවසිලන්තයේ අගමැති සහ ඇමති මණ්ඩලයට 20%ක වැටුප් කප්පාදුවක්

Helarata

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

Helarata

ජර්මනියේ වෛරසය පාලනය වෙයි..

Helarata

Leave a Comment

Translate »