හෙළරට - විදෙස් පුවත්

කොරෝනා නිසා නවසීලන්තයේ ඡන්දය කල් යයි….

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

නවසීලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දිනය සහ මහමැතිවරණය පැවැත්වීමේ දිනය කල් දැමූ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය විසින් අද (අගෝස්තු 17 වෙනි සදුදා ) නිවේදනය කලාය.

මේ අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ඔක්තෝබර් 17 වේ.

දින 102 ක කාලයක් කිසිදු Covid-19 ආසාදිතයෙකු නොසිටි රටක් ලෙස පැවති නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් පසුගිය සතියේ රෝගීන් කිහිප දෙනෙකු හදිසියේම හමුවීමත් සමගම රජයට මෙම තීරණය ගැනීමට සිදු වූ බව එතුමිය අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.

නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂයද මැතිවරණය කල් දමන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර විපක්ෂනායක ජුඩිත් කොලින්ස් මහත්මිය කියා සිටියේ සැප්තැම්බර් 19 වන දින පැවැත්වීමට සළසුම් කර ඇති මැතිවරණය ලබන වසර දක්වා හෝ එසේ නැත්නම් අවම වශයෙන් නොවැම්බර් දක්වා හෝ ප්‍රමාද කළ යුතු බවයි.

රජයේ අරමුණ වී තිබුනේ අගෝස්තු 6 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වූ විට අගෝස්තු 12 වන බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර, සැප්තැම්බර් 19 වන දින මහ මැතිවරණය පැවැත්වීමටයි.

අග්‍රාමාත්‍යතුමිය විසින් පවසා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඇයට විකල්ප දින දෙකක් ලෙස ඔක්තෝබර් 17 සහ නොවැම්බර් 21 යෝජනා කල බවත්, ඒ අනුව කලින් රජය නිවේදනය කල සැප්තැම්බර් 19 හෝ මෙම දින දෙකෙන් එකක් ඇයට තෝරා ගැනීමට සිදුවූ බවත්ය.

මැතිවරණයක් පැවැත්වීමේදී, එය සාධාරණ මැතිවරණයක් විය යුතු මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය සෞඛ්‍යාරක්ෂිතව සහ සාධාරණව පැවැත්විය හැකි විය යුතු බවත් එතුමිය මෙහිදී වැඩි දුරටත් පැවසුවාය.

නවසීලන්තයේ නීතිය අනුව, පාර්ලිමේන්තුවක් වසර තුනක කාලයක් පවතින අතර, එම කාලයේදී රජය විසින් තීරණය කරන දිනයකදී හෝ කාලය අවසන් වන දිනයේදී එම පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.

දැනට පවතින 52 වන පාර්ලිමේන්තුව ඔක්තෝබර් 13 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

Related posts

කොරෝනා හඳුනාගන්න සිංගප්පූරුවෙන් ඇප් එකක්…

Helarata

නැවත දැනුම් දෙනතුරු යුරෝපය හැර අනෙක් රටවලට ප්‍රංශය තහනම්

Helarata

කටවසාගෙන තායි පන්සල්වලට ඒමට අවසර…

Helarata

Leave a Comment

Translate »