හෙළරට විශේෂාංග

යෝජිත 20 ව්‍යවස්ථා සංශොධනය හා බුදුදහම..


🖋️මහාචාර්ය කපිල අභයවංස


යොජිත 20 වැනි ව්‍යවස්ථා සංශොධනය අරභයා අමරපුර හා රාමඤ්ඤ යන නිකාය දෙක එක්ව නිකුත් කෙරුණු නිවෙදනයෙන් පසුව රජය නියෝජනය කරමින් ජී එල් පීරිස් අමාත්‍යවරයා බුද්ධ ධර්මය හා 20 වැනි සංශොධනය අතර පවත්නා සම්බන්ධය කුමක්දැයි මාධ්‍ය හමුවකදී ප්රශ්න කරනු අසන්නට ලැබිණ. ඒ් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් ව්‍යවස්ථා සංශොධනයෙන් බුදුදහමට කිසිදු හානියක් සිදු නොවන බවත් ඔහු එහිදී අවධාරණය කරනුද ඇසිණ. රටක ව්‍යවස්ථාවක් හා බුදුදහම අතර සම්බන්ධයක් පැවතීමට ඉඩකඩක් නැතිබව බැලූ බැල්මට කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් කෙනෙකුට එසේ සිතෙනු ඇත්තේ බුදුදහම හුදු සංකල්පයක් වශයෙන් ගන්නේ නම් පමණි.
රටක ව්‍යවස්ථාවක් යනු එරටේ රාජ්‍යපාලන තන්ත්රය ක්රියාත්මක වියයුතු විධිය පැහැදිළි කෙරෙන ලේඛනයයි. පුරවැසියන් අරභයා ගත්විට බුදුදහම යනු රාජ්‍යපාලකයා පමණක් නොව මුළමහත් ජනතාවම අනුගමනය කළයුතු එසේම තම ජීවිත තුළ පිළිබිඹු කරගතයුතු පුද්ගල හා සමාජ ආචාරධර්ම ප්රතිපත්ති මාලාවකි. ව්‍යවස්ථාවද රජයක් විසින් අනුගමනය කළයුතු ප්රතිපත්ති මාලාවකි. රාජ්‍ය ප්රතිපත්ති හා ‌බෞද්ධ ප්රතිපත්ති අතර අන්න්‍යොන්‍ය පරස්පරයක් පවතී නම් එය බුදුදහමට පටහැනි වීමකි.
ශ්රීලංකා රාජ්‍ය ව්‍යවස්ථාවෙහි බුදුදහමට ප්රමුඛත්වය දෙමින් බුද්ධශාසනයේ ආරක්ෂාවට හා පෝෂණයට රජය ක්රියා කළයුතු බවට ප්රතිඥා දී තිබේ. එම ප්රතිඥාව යොජිත 20 වැනි සංශොධනයෙන් ද ඉවත් වී නැත. එය එසේම පිළිගෙන තිබේ. ඇතැම්විට ජී. එල්. පීරිස් අමාත්‍යවරයා 20 වැනි සංශොධනයෙන් බුදුදහමට හානියක් නැතැයි පවසන්නට ඇත්තේ ඉහත කී ප්රතිඥාව පිළිගෙන ඇති නිසා විය හැකිය. එහෙත් බුදුදහමට ප්රමුඛත්වය දීම යනුවෙන් අදහස් වන්නේ කිමෙක්ද? බුදුදහමට ප්රමුඛත්වය දීම යනු අන්කිසිවක් නොව බෞද්ධ ප්රතිපත්තිවලට ප්රමුඛත්වය දීම බව පිළිනොගන්නා කිසිවකු සිටිය හැකි නොවේ. රාජ්‍ය ප්රතිපත්ති ක්රියාත්මක වීමේදී බෞද්ධ ප්රතිපත්ති වලට හානියක් වීමට ඉඩ නොදී ඒ්වා ඉස්මතු වන සේ ක්රියා කිරීම බුදුදහමට ප්රමුඛත්වය දීමයි.


යෝජිත නව ව්‍යවස්ථා සංශොධනය කෙතෙක් දුරට බුදුදහමට හෙවත් බෞද්ධ ප්රතිපත්ති වලට ප්රමුඛත්වයක් දී තිබේදැයි විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි. මෙහිදී ව්‍යවස්ථා සංශොධනයෙහි කරුණු කිහිපයකට පමණක් අපගේ අවධානය යොමු වෙයි.
ජනාධිපතිවරයාට නීතියේ මුක්තිය හිමි කිරීමට හෙවත් නීතියෙන් නොබැඳී සිටීමට කෙරෙන යෝජනාව මෙහිදී පළමුවෙන් ම සැළකිල්ලට ගැනෙයි. සාමාන්‍ය ජනතාව පමණක් නොව පාලකයා ද නීතියට හෙවත් යුක්ති ධර්මයට අවනත විය යුත්තෙකු බව බුදුදහමේ පිළිගැනීමයි. නීතියේ ආධිපත්‍යය තුළ පාලකයා පැවතිය යුතු බව බුදුදහම තරයේ අවධාරණය කරයි. ධාර්මික පාලකයකුගේ ලක්ෂණ පැහැදිළි කරන බුදුදහම පාලකයාගේ ප්රමුඛතම ලක්ෂණය හැටියට දක්වා ඇත්තේ තමා නීතියට යටත්ව නීතිය තමාගේ අධිපතියා හෙවත් ස්වාමියා ලෙස සැළකීමයි. බුදුදහම මෙය කෙතරම් අවධාරණාත්මකව ප්රකාශ කෙරේදැයි යන්න ධාර්මික රාජ්‍යපාලකයා හැඳින්වීමට යෙදෙන විශෙෂණ පදවලින්ම වටහා ගත හැකිය. පහත දැක්වෙන්නේ චක්කවත්ති සීහනාද සූත්රයෙහිදී ධාර්මික පාලකයා සඳහා යෙදී ඇති විශෙෂණ පදයි.
ධර්මයට සත්කාර කරන (ධම්මං සක්කරොන්තො) ධර්මයට ගරු කරන ((ධම්මං ගරුකරොන්තො) ධර්මයට හිසනමන (ධම්මං මානෙන්තො) ධර්මයට පූද සැළකිලි දක්වන (ධම්මං පූජෙන්තො) ධර්මය ධජය කොට ගත් (ධම්මධජො) ධර්මය කොඩිය කරගත් (ධම්මකෙතු) ධර්මය ස්වාමියා කරගත් (ධම්මාධිපතෙය්යො).


ධාර්මික පාලකයා හඳුන්වන මෙම පදයන්හි යෙදෙන ධර්ම (ධම්ම) යනු යුක්ති ධර්මයයි හෙවත් නීතියයි. ධර්මය (ධම්ම) යන පදයෙහි නීතිය යුක්තිය යන අදහස ඇත. නීතිය පසිඳලන තැන හඳුන්වන්නේ ධර්මාධිකරණය නමිනි. නීතිය පසිඳලන්නා හැඳින්වෙන්නේ ධර්මාද්ධ්‍යක්ෂ යන නමිනි. ඉහත දැක්වූ විශෙෂණ පදයන්හි අවසානයට දැක්වෙන ධම්මාධිපතෙය්යො යන්න මෙහිදී විශෙෂ වෙයි. එයින් අදහස් වන්නේ නීතියේ ආධිපත්‍යය පිළිගත්තෙකු යන්නයි. නීතියේ මුක්තිය ලැබීම යනු නීතියට වඩා ඉහලින් සිටීමයි. නීතියට වග නොකියන්නකු බවට පත් වීමයි.
දෙශපාලනයෙහි බලයට පත්වන කවරකු වුව ද පෘථග්ජනයෙකි. රාගදොස මෝහාදියෙන් වෙන් වූවෙක් නොවේ. එබඳ තැනැත්තකු පාලන බලාධිකාරයට පත් වීමෙන් පසු ඔහුගෙන් නීතියට පටහැනි රටට අහිතකර ක්රියා සිදුනොවෙතැයි සහතිකයක් දිය හැකිද? ව්‍යවස්ථාව මගින්ම එවැන්නෙකුගේ අතට නීතිය පත් කිරීම රටේ ජනතාව සියතින් ගෙල සිඳ ගැනිමක් නොවන්නේ ද? ධර්මය හෙවත් නීතිය ඉක්මවා සිටීමට බුදුදහමින් කිසිදු ඉඩක් නැත. කවරකුගෙන් වුවද නීතියට පටහැනි වරදක් වුවහොත් වරද වරද ලෙස පිළිගෙන නීත්‍යනුකූලව ක්රියා කිරීම අභිවෘද්ධියට හේතුවේයයි බුදුදහමින් අවධාරණය වෙයි (අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති). එය රටවැසියා මෙන්ම පාලකයා ද එකසේ පිළිපැදිය යුතු ධර්මතාවක් ලෙස බුදුදහම පිළිගනියි.


ජනාධිපති හා අගමැති ලේකම් කාර්යාලවල වියහියදම් විගණනයකින් තොරව සිදුවිය යුතු බවට කෙරෙන සංශොධනය ද බුදුදහම සම්බන්ධයෙන් ප්රශ්නාර්ථයක් මතු කරවයි. මෙය පැහැදිළිවම සොරකමට හා දූෂණයට මංපෙත් විවර කිරීමකි . මෙම කාර්යාලවල වියහියදම් කෙරෙන්නේ ද මහජන මුදල්ය. ඒවා නිසි පරිදි වියපැහැදම් වෙනවාදැයි දැන ගැනීමට ඒ මුදල් අයිති මහජනතාවට අයිතියක් තිබේ. ජනතාවගේ අයිතිය පැහැර ගැනීම ද සොරකමකි. මෙසේ සොරකම් සිදුවීමට ව්‍යවස්ථාවෙන් ම ඉඩ පහසුකම් සළසා දෙන්නේ නම් ව්‍යවස්ථාවෙන් ප්රතිඥා දී ඇති බුදුදහමට ප්රමුඛත්වය දීමත් බුද්ධශාසනය පෝෂණය කිරීමත් සිදුවිය හැකිද? එය රාජ්‍යපාලකයන් සොරකමට හා දූෂණයට පොළඹවන්නක් වන බැවින් එමගින් සිදු වන්නේ බුදුදහමට ප්රමුඛත්වය දීමක්ද?
රාජ්‍යයක හෝ ආයතනයක නීති පැනවීමේ එක් මූලික අරමුණක් වන්නේ පුද්ගලයන් අතින් වැරදි සිදුවීමට ඇති ඉඩකඩ අහුරාලීමයි. බෞද්ධ විනය නීති පැනවීමට එක් සාධකයක් වී ඇත්තේ ද එයයි. විනය නීති පැනවීමට හේතු වූ කරුණු දහය අතුරෙන් විනයානුග්ගහාය යනුවෙන් අදහස් වන්නේ එම කරුණයි. මහජන මුදල් අවභාවිතය නමැති වරදට හේතු විය හැකි පරිද්දෙන් විගණනය අත්හිටුවීමට යෝජනා වීම බුදුදහමට මුල්තැන දෙන හා බුද්ධශාසනය පෝෂණය කරන රාජ්‍යයක සම්භාව්‍ය වියහැක්කක් නොවේ.


අධිකරණ කාර්යයන් සඳහා ප්රමුඛ පෙළේ විනිසුරුවන් ජනාධිපති වරයාගේ අභිමතය පරිදි පත් කිරීමට ඉඩ දීමට ද නව සංශොධනයෙන් යොජනා කෙරෙයි. මණ්ඩලයකින් කෙරෙන පත් කිරීමකට වඩා පුද්ගලයකු මගින් කෙරෙන පත්වීමකදී පත්වීම ලබන්නා පත්වීම දෙන්නා කෙරෙහි ලබැඳීයාවකින් බැඳීමකට බොහෝ දුරට ඉඩකඩ තිබේ. මෙය එක්කෝ ඡන්දයෙන් හෝ භයෙන් ඇති වන්නකි. මෙය ප්රධාන පෙළේ විනිසුරුවන් සම්බන්ධයෙන් වන විට එය බෙහෙවින් විපත්තිකර ප්රතිඵල උදාකරලන්නක් විය හැකිය. විනිසුරුවා අගතිගාමිත්වයෙන් තොරව අපක්ෂපාතීව විනිශ්චය කරන්නෙකු වීම අනිවාර්ය වූවකි. නැතිනම් ඔහුගේ විනිශ්චය සහගහන අපරාධයක් විය හැකිය.


අගතිගාමිත්වය හෙවත් පක්ෂපාතිත්වය බුදුදහමෙහි සැළකෙන්නේ අධර්මයට හේතුකාරක වන්නක් ලෙසය. අගතිගාමිත්වයෙන් තොරවීම ධර්මයට යොමු කරවන්නක් ලෙස දැක්වෙයි. අගතියෙන් ක්රියා කරන්නා ධර්මය ඉක්මවන්නෙකු ලෙසත් අගතියෙන් තොරව ක්රියා කරන්නා ධර්මයෙහි හැසිරෙන්නකු ලෙසත් සිගාලොවාද සූත්රයේදී බුදුන් වහන්සේ විසින් අර්ථ ගන්වා තිබේ. නීති ක්ෂෙත්රයෙහි හා රාජ්‍යපාලනයෙහි ස්වාභාවික යුක්ති ධර්මය (natural justice) යනුවෙන් ගැනෙන්නේ ද අධිකරණ විනිශ්චයන්හිදී විනිසුරුවන් හා රාජ්‍ය පාලනයෙහි පාලකයන් අපක්ෂපාතීව ක්රියාකිරීමේ මූලධර්මයයි. බුදුදහමෙහි මෙන්ම අධිකරණ ක්ෂෙත්රයෙහිත් රාජ්‍යපාලනයෙහිත් අනුල්ලංඝනීය ධර්මතාවක් බවට පත්වන අපක්ෂපාතිත්වය ප්රශ්නාර්ථයක් බවට පමුණුවන අවස්ථා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යොජනාවීම බුදුදහමට හානිකර තත්වයක් නොවන්නේද?
ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාත් මහ මැතිවරණයේදීත් රජයත් පත් කරගනු ලැබුවේ අතිබහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බව පැහැදිළිව දක්නට ලැබුනකි. එම ජනතාව තම ඡන්දය භාවිත කළේ රට ජාතිය හා ආගම ආරක්ෂා කරගැනීමේ පරම අධිෂ්ඨානයෙනි. එබැවින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට ජනාධිපතිවරයාත් රජයත් එකසේ බැඳී සිටිති. සිංහල බෞද්ධ ජනතාව රට ජාතිය ආරක්ෂා වීමටත් වඩා රජයකින් බලාපොරොත්තු වන්නේ ආගම ආරක්ෂා කරගැනීමය. එහි පූර්වාදර්ශය ලබා දී ඇත්තේ දුටුගැමුණු රජතුමා විසිනි. ඔහුගේ සටන් ව්‍යාපාරයෙහි තේමාව වූයේ බුද්ධශාසනය ආරක්ෂා කර ගැනීමයි.


පසුගිය මැතිවරණ දෙකේදීම භික්ෂූන් වහන්සේලා ද රොද බැඳගෙන ගෙන ඡන්ද ව්‍යාපාරයන්ට එක් වී ජනාධිපති තුමාත් රජයත් වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වූයේ විශෙෂයෙන් බුදු සසුන රැක ගැනීමේ අපෙක්ෂාවෙනි. එසේ තිබියදී බෞද්ධ සාරධර්මයන්ට හානිකර වන කරුණු ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යොජනා වීම කිසිසේත් බලාපොරොත්තු විය හැක්කක් නොවේ. බුදුදහමට ප්රමුඛත්වය දී බුද්ධශාසනය පොෂණය කරන්නට බැදී ඇති රාජ්‍යයක ව්‍යවස්ථාවට බෞද්ධවිරෝධී අධර්මතාවන් අතුළත් වීමට ඉඩ දේ නම් එය බුදුදහමට කෙරෙන අපහාසයක් වනු නිසැකය..

Related posts

මානසික ව්‍යාධි සහ සසුන වැනසීම…

Helarata

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

ධූමකේතු භූතාචාර්යතුමාගේ හෙළිදරව්වට ට්‍රම්ප් ඇඳෙන් වැටේ.

Helarata

Leave a Comment

Translate »